දිවයිනේ පොලිස් කොට්ඨාස 45 ක පොලිස් ස්ථාන 602ක් ආවරණය කරමින් නියෝජිත මහත්ම මහත්මීන් දහසකට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් කොළඹ පැවති ජනහමුව අමතමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මෙසේද කීය….
මේ වෙලාවේ මෙවැනි අමාත්‍යංශයක් බාරගන්න එපා කියලා. ඒ මොකෝ මුළු රටම ගිනි ගන්න වෙලාවක, විශාල ප්‍රශ්න රැසක් තියෙන වෙලාවක, මම සති දෙකක් විතර කල්පනා කෙරුවා මේක බාරගත්තොත් කොහොමද කරන්නේ? මට සමීපතම දේශපාලනයේ නියැලී සිටින සමහර උදවිය එක්කත් මම සාකච්ඡා කෙරුවා. සාකච්ඡා කරලා මම අන්තිමේට හිතුවා මේ අභියෝගය මම භාරගන්නවා කියලා. ඉතින් මම මේ අමාත්‍යාංශය බාර අරගෙන මට මුලින්ම සිද්ධ වුනේ මේ රටේ තියෙන තත්ත්වය සමථයකට පත් කරන්න. මම විටින් විට දිගින් දිගටම කියන්න ඕනේ නැහැ එක පැත්තකින් පෙට්‍රල් පෝලිම් ගෑස් පෝලිම්, කිරිපිටි පෝලිම්, අනිත් පැත්තෙන් තිබුණේ, මහ පාරේ අරගල මම මැයි මාසේ බාරගන්නකොට මගේ අමාත්‍යාංශය යටතේ තිබුණේ පොලිසිය පමණයි. ඔබ සියලු දෙනා දන්නවා ඒ වෙලාවේ පොලිසියේ තිබුණ තත්ත්වය. පොලිසියේ කොන්ද කඩල තිබුණේ. කිසිම දෙයක් කරගන්න බැරුව මහ පාරේ පවා තර්ජන ගර්ජන වලට මුහුණ දෙන්න සිදු වුන වෙලාවක් පොලිසියේ නිලධාරීන්ට. මම බාර අරගෙන ඉස්සෙල්ලම හිතුවේ මම ඒ තත්වය වෙනස් කළ යුතුයි කියන එක. අනිත් එක රටක් වශයෙන් නීතිය සම්පූර්ණයෙන් කඩා වැටුණොත් ඒ රටකට ආයිත් ගොඩ ඒමක් නැහැ. එතකොට අපි ආර්ථික වශයෙන් කඩා වැටිලා තිබුණ තැනක නීතියත් කඩා වැටුනා නම් අද මේ රට මේ තත්ත්වයේ තිබෙන්නේ නැති බව, ඔබ සියලු දෙනාම මා එක්ක එකඟ වෙනවා ඇති. මුලින්ම මම පොලිස් නිලධාරීන්ට කතා කරලා පොලිස්පතිතුමා එවකට අනිත් නිලධාරීන් විශේෂයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වත්මන් පොලිස්පතිතුමා එක්ක කතා කරලා මම ඒ තත්ත්වය වෙනස් කරන්න පටන් ගත්තා. ඔබට මතක ඇති ඊට සුමාන දෙක තුනකට පස්සේ අපි පාරේ තිබුන අරගල නැති කරන තත්ත්වයට අපි වැඩ පටන් ගත්තා. ඔය එක එක ගම් හදාගෙන තිබුණා මහ පාරේ, ඒවා අපි නැති කෙරුවා. ඊට පස්සේ අරගලකාරී ලෙස පෙළපාළි එන්න පටන් ගත්තා අපිට ඒවා නැති කරන්න වුණා. ඒ නැති කරන්න වුනේ මේ රටේ අනාගතය වෙනුවෙන්. ඔබ සියලු දෙනා සහ ඔබ සියලු දෙනාගේ දූ දරුවන් වෙනුවෙන්. ඉතිං අපි එහෙම පොලිසියට හයියක් දීලා අපි වැඩ කටයුතු ටික කරගෙන ගියා. ඉන්පසුව මාස දෙක තුනක් යනකොට ජනාධිපතිතුමා මට කතා කරලා කිව්වා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව එන්ජීයෝ සෙක්ටේරියට් එක ඒ සියලු දේ භාරගන්න කියලා.