රටේ දේශපාලන අධිකාරිය නිවැරදි නායකත්වයක් ලබා දුන්නා නම්, රණවිරුවන් ත්‍රස්තයන්ගෙන් මුදවා ගත් අප රට සෞභාග්‍ය සම්පන්න රටක් බවට පත්වන බවත් දැනටත් රට මුදවා ගැනීමේ මෙහෙයුමක් ඇති බවත් හොරකම දුෂණය වංචාව ජාතික දේපල හා සම්පත් මහදවල් මංකොල්ලය, නාස්තිය වැනි විනාශය තුරන් කරන්නට රණවිරුවන් මැදිහත්විය යුතු බවත් රට ගොඩනගන මානුෂීය මෙහෙයුමේ කොටස්කරුවන් වන ලෙස රණවිරුවන්ගෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එමෙන්ම සමගි ජන බලවේග රජයක් තුළ ශක්තිමත් නීති පද්ධතියක් හරහා රට විනාශ කළ සියලු දෙනා අධිකරනය හමුවට ගෙනවිත් දඩුවම් දෙනවා සේම රටෙන් අහිමි වූ සම්පත් දේපල මුදල් නැවත රටට ලබා ගැනීමට අවශ්‍ය මානුෂීය මෙහෙයුම දියත් කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මොනරාගල දී පැවැති සමගි රණවිරු බලවේගයේ 6 වැනි සමුළුව අමතමිනි.
2019 ජනාධිපතිවරණ සමයේ සමගි ජන බලවේගය කෙටිකාලයක් තුළ රණවිරුවන් සමඟ සමාජ ගිවිසුමකට එළඹුණු බවත් එම සමාජ ගිවිසුම වඩාත් විධිමත්ව ක්‍රමවත්ව හා කාර්යක්ෂමව මෙන් ම සැලසුම් සහගතව දිස්ත්‍රික් මට්ටමින් රණවිරු සංවිධාන ගොඩනගා ඇති බවත් මේ වන විට රණවිරු සම්මේලන 6ක් පවත්වා ඇති බවත් එහි දී රණවිරු ප්‍රජාවගේ යෝජනා අදහස් උදහස් ලබා ගෙන මේ මොහොතේ නව සමාජ සම්මුතියකට එළඹෙන බවත් එය ‘දිවිදෙන රණවිරු වැඩපිළිවෙළ’ ලෙස නම් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විශ්‍රාම ගියත් රණවිරුවන්ගේ රාජකාරිය අවසන් නැහැ
මේ රණවිරුවන් අප රටට ජිවය ප්‍රාණය ලබා දුන් බවත් ලක්ෂ 220කගේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ බවත් එය තවමත් අවසන් නොමැති බවත් රට ගොඩනගන්න ජනතාවට දිරි ලබා දෙන්න තවත් බොහෝ රාජකාරී ඇති බවත් රටේ ප්‍රධාන සමාජ සංවර්ධන ධාරාවේ නියමුවන් ලෙස සලකන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රණවිරුවන් රැකබලා ගැනීම අපේ යුතුකමක්
රට දැය වෙනුවෙන් අතිවිශිෂ්ඨ සේවාවක් කළ මේ රණවිරුවන් ආරක්ෂා කිරීම, රැකබලා ගැනීම සිදු කරන බවත් බලයට පත් වී පැය 48ක් ඇතුළත් රණවිරු ප්‍රජාවගේ ආර්ථික සමාජීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්න රැකගන්න විශේෂ ජනාධිපති කාර්යසාධන බලකායක් සකස් කරන බවත් එමෙන්ම රණවිරුවන් සම්බන්ධ අණපනත් යුගයට ඔබින ආකාරයට යාවත්කාලීන කරන බවත් වන් රෑන්ක් වන් පෙන්ෂන් ප්‍රතිපත්තිය ගැන අධ්‍යයනයක නිරතව සිටින බවත් එය ද ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.