29.5 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPප්‍රාථමික අධ්‍යාපනය තුළ විභාග පැවැත්වීමේ ක්‍රමවේදයට වඩා විෂය බාහිර ක්‍රියාකාරකම්වලට ප්‍රමුඛත්වය දිය යුතුයි, ...

ප්‍රාථමික අධ්‍යාපනය තුළ විභාග පැවැත්වීමේ ක්‍රමවේදයට වඩා විෂය බාහිර ක්‍රියාකාරකම්වලට ප්‍රමුඛත්වය දිය යුතුයි,   පාසල් ක්‍රිකට් නංවන්න රුපියල් මිලියන 1000ක්-අමාත්‍ය ආචාර් ය සුසිල් ප්‍රේමජයන්ත


 ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් අධ්‍යයන කටයුතුවලට වඩා විෂය අධ්‍යාපන  බාහිර හා විෂය සමගාමී ක්‍රියාකාරකම්වල වැඩි වශයෙන් නිරත කරවිය යුතු බවත් එහි දී ක්‍රිකට් ක්‍රීඩාව වැනි විෂය බාහිර ක්‍රියාකාරකම්වල නිරත වීම මගින් දරුවන් තුළ සමබර පෞරුෂයක් ගොඩනැගෙන අතර එමගින් තුලනාත්මක හැකියාවන් සහිත දරුවකු බිහි කරගත හැකි බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.

     ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇති ව නෙළුම් පොකුණ රඟහලේ පැවති ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ වයස අවුරුදු 15න් පහළ හා 17න් පහළ ක්‍රිකට් තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.

     මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ දැඩි පරිශ්‍රමයක් දැරීමෙන් අනතුරු ව කොවිඩ් සමයේ පාසල් වසා තිබූ කාල පරිච්ඡේදය තුළ මගහැරී තිබූ පාසල් ක්‍රීඩා තරග නිසි ලෙස පවත්වා අවසන් කිරීමට හැකි වූ බවයි. ඒ අනුව පාසල් සිසුන් අතර ඉතා ජනප්‍රියත්වයට පත් ව ඇති ක්‍රිකට් ක්‍රීඩාව පාසල් මට්ටමින් නංවාලීම සඳහා අය-වැය ප්‍රතිපාදන මගින් වෙන් වී ඇති රුපියල් මිලියන 1000ක ප්‍රතිපාදන පාසල්වල ක්‍රීඩාංගණ, ක්‍රීඩාගාර දියුණු කිරීමට හා ක්‍රීඩා භාණ්ඩ ලබා ගැනීම සඳහා ලබා දීමට ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියා කරන බවත් හෙතෙම මෙහි දී පැවසී ය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රතිපාදන හා සහාය ද ලබාගනිමින් විෂය බාහිර ක්‍රියාකාරකමක් වූ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීමට කටයුතු කරන බවත් රටට දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් බිහි කරන තෝතැන්න පාසල බවත් අමාත්‍යවරයා එහි දී පැවසී ය.

     නව තාක්ෂණය, දේශගුණ විපර්යාස, මනා පෞරුෂත්වයක් සහිත දරුවන් බිහි කිරීම වැනි කාලීන මාතෘකා පිළිබඳ ගෝලීය වශයෙන් පුළුල් අවධානයක් යොමු වී ඇති පසුබිමක එම ජාත්‍යන්තර ප්‍රවණතා කෙරෙහි ද සැලකිලිමත් ‍වෙමින් අපේ අධ්‍යාපන පද්ධතිය ද යාවත්කාලීන කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍යවරයා මෙහි දී පැවසී ය. ඒ අනුව දියුණු රටවල අධ්‍යාපන මට්ටමට අනුරූපී වෙමින් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සිදු කිරීමට යන නව අධ්‍යාපන පරිවර්තනීය වෙනස තුළ මෙරට පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රමුඛ තැනක් ලබා දෙන බව සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය. ඉදිරියේ දී ප්‍රාථමික ශ්‍රේණිවල පවත්වන විභාග ප්‍රමාණය අඩු කර පන්ති කාමරයේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ආශ්‍රිත අධ්‍යයන කටයුතු බහුල කිරීමට අවධානය යොමු කරන බවත් ඒ මහතා මෙහි දී ප්‍රකාශ කළේ ය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments