22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්ගුවන්තොටුපළ සංචාරකයන්ට විවෘත කළාට පස්සේ තවත් කොරෝනා පොකුරක් බිහිවේවි

ගුවන්තොටුපළ සංචාරකයන්ට විවෘත කළාට පස්සේ තවත් කොරෝනා පොකුරක් බිහිවේවි

සංචාරකයින් සඳහා මෙම 26 වැනිදා ගුවන්තොටුපළ විවෘත කිරීමත් සමග මෙරට තවත් කොවිඩ් පොකුරක් ඇති වීමට වැඩි ඉඩක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවැසීය. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (13 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදීය.

කොළඹ නගරයේ ව්‍යාප්ත වී ඇති මෙම වසංගතය පාලනය කිරීමට වැඩපිළිවෙළක් නොමැති රජයට සංචාරකයන්ට ගුවන්තොටුපොළ විවෘත වීමෙන් පසු මෙරට බිහිවන නව කොවිඩ් පොකුර පාලනයටද කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවද හෙතෙම කීවේය. මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ කොරෝනා වසංගතය පාලනය කිරීම වෙනුවට එමගින් සිය ආදායම් ශක්තිමත් කිරීමට ආණ්ඩුව උත්සාර කරන බවය.

කොවිඩ් වසංගතය පාලනයට පිළියම් සොයනවා වෙනුවට අනිල් ජාසිංහ, ජයරුවන් බණ්ඩාර වැනි දක්ෂ වෛද්‍යවරුන් ඉවත් කරමින් මෙය දේශපාලනීකරණයට ලක්කර ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය. ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළ එන්නතක් ජනවාරි වන විට මෙරට ජනතාවට ලබාදීම සඳහා රජය පියවර ගත යුතු බවද මන්ත්‍රීරයා අවධාරණය කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා මෙසේද කීය.

කොවිඩ් වසංගතය මර්දනයට රජය ගන්නා වූ ක්‍රියාමාර්ගවලින් මෙම වසංගතය තව තවත් ශීඝ්‍රයෙන් මෙරට තුළ ව්‍යාප්ත වීම තමයි වෙන්නේ. මෙම වසංගතය අවසන් වන දවස සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශ අද වන විට භූමරංගයක් බවට පත් වෙලා. ලෝකයේ විවිධ රටවල් කොරෝනාවට එන්නත් සොයද්දී ලංකාව මිත්‍යාව වපුරනවා. මෙම වයිරසය රටපුරා ව්‍යාප්ත වෙමින් පවතින මොහොතක රජය විද්‍යාව අමතක කරලා. එම නිසා මෙම වයිරසය ලංකාව පුරා පැතිරිලා.

ලෝකයේ විවිධ සමාගම් එන්නත් සොයාගෙන ඒවා බොහෝමයක් මේ වන විට පරීක්ෂණ මට්ටමේ පවතිනවා. ඒත් අපේ රට මිත්‍යා පැණි සොයා යනවා. අපේ රටේ සමහර ඇමැතිවරු කියනවා එම එන්නත් අසාර්ථකයි එමගින් විවිධ රෝග මතුවෙනවා කියලා.

මේක පැහැදිලිවම යටි අරමුණකින් සිදු වෙන දෙයක්. අපි රජයෙන් ඉල්ලනවා පී.සී.ආර්. කිරීමට, ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කරනවා වගේ මෙම එන්නත් මෙරට රෝගී ජනතාවට ලබාදීම සඳහා අවශ්‍ය කරන පසුබිම හදන්න කියලා. ඒ සඳහා කරුණාකරලා අවධානය යොමු කරන්න.

දේශීය වෙදකමට ඉඩලබා දෙනවා වගේම ඒ සඳහා නිසි වැඩපිළි​වෙළක් සකස් කළ යුතුයි. කොරෝනාව ගරාණාවක් කරගෙන මේ අය මුදල් උපයනවා. ඒ වගේම හෙළ වෙදකම පැත්තෙන් ඖෂධ ගණනාවක් නිර්මාණය වෙලා තියෙනවා. මේවා ගැන කටයුතු කරන්න ආයුර්වේද වෛද්‍ය සභාවක් තියෙනවා. හැබැයි මේවා ප්‍රචාරක ව්‍යාපාර කර ගත යුතු නැහැ. මේවා තවත් කූට නාටකයක් බවට පත්කර ගත යුතු නැහැ.

එමගින් වෙන්නේ මේ අපේ පාරම්පරික වෙදකම ගැන තියෙන විශ්වාසය තවත් වෙළෙඳ භාණ්ඩයක් කරලා බිඳ දැමීම පමණයි. අපි කියන්නේ ප්‍රතිඵල ලැබෙනවා නම් නිශ්චිත ක්‍රවේදයකට අනුව මෙය සිදු කිරීම වරදක් නැහැ කියලා. හැබැයි එහෙම නැතුව තැන් තැන්වල ජනතාව රැස් කරලා මේක ව්‍යාපාරයක් කළ යුතු නැහැ.

දැනටත් අපි ලෝකය ඉදිරියේ හෑල්ලුවට ලක්වෙලා තියෙන්නේ. අපේ ප්‍රතිරූපය තව තවත් බිඳ දමන්න එපා. විශ්වසනීය නොවන ක්‍රම රජය අනුග්‍රහයෙන් පතුරුවලා මහජනයා අමාරුවේ දාන්න හෝ කො​රෝනා ගරාණාවක් කර ගන්න එපා. සෞඛ්‍ය ඇමැතිවරියට මෙය භාරදුන් පමණින් හෝ කොවිඩ් පැණිය පානය කළ පමණින් මේ රටේ රෝගය නතර වෙන්නේ නැහැ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments