වත්මන් පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරු ධම්මික පැණිය පානය කළත් සර් ජෝන් කොතලාවල අගමැතිවරයාගේ රජය වදකහ පානය කර ජනතාවට වැරදි ආදර්ශයක් ලබානොදුන් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඊයේ (13 වැනිදා) පැවැසුවේය.
306 බී 2 සිංහ සමාජය මගින් රුපියල් මිලියන 80ක මුදලක් වැය කර ඉදිකිරීමට යෝජිත පස්මහල් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයට බියගමදි මුල්ගල තබමින් ඔහු මේ බව කීවේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසුවේය.
වර්තමානයේ කොවිඩ් මර්දන පැණිය ගැන කතා කරනවා. මුට්ටි ගඟට දානවා. පනහ දශකයේ සූරියග්‍රහණයක් ආවා. එහිදී පුද්ගලයන් කිහිපදෙනකු ප්‍රකාශ කළා සූර්යග්‍රහණය තියෙන විනාඩි හතක කාලය තුළ වදකහ බිව්වොත් තරුණ වෙනවා, පැහැපත් වෙනවා කියලා. අපේ රටේ කාන්තාවන් මෙන්ම පිරිමින්ද වදකහ බිව්වා.
සූර්යග්‍රහණය අවසන් වූ පසු වදකහබී අසාත්මිකතා ඇතිවූ පුද්ගලයන්ගෙන් රෝහල් පිරී ඉතිරී ගියා. අගමැති ධුරයේ සිටි සර් ජෝන් කොතලාවලට සිදුවුණා මෙවැනි ප්‍රකාශ සිදුකළ අයට නීතිමය පියවර ගන්න. නමුත් ඔවුන් නිදහස් වුණා. වර්තමානයේත් පැණි ගැන මාධ්‍යයේ පළවෙනවා. කෙසේ වෙතත් අගමැතිවරයා ඇතුළු මැති ඇමැතිවරු වදකහ පානය කළේ නැහැ. නමුත් වත්මන් පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරු ධම්මික පැණිය පානය කරලා.
සූර්යග්‍රහණයෙන් පසු රටේ සිදුවූ සිද්ධිය පදනම් කර ගෙන ජිප්සීස් සංගීත කණ්ඩායම ‘‘බිව්වා නේද වදකහ සුළිය’’ යන ගීතය පවා සංගීත ක්ෂේත්‍රයට එකතු කළා. රජය විධිමත් සායනික පරීක්ෂණ පැවැත්විය යුතුයි. රජය ඇත්ත ප්‍රකාශ කළ යුතුයි ජනතාව අතරමං නොකර. ලෝකයේ රටවල් රැසක් ඖෂධ සොයා ගැනීමට පරීක්ෂණ පවත්වනවා.
කොරේනා වසංගතය හේතුවෙන් මෙම මධ්‍යස්ථානයට මුල්ගල තැබීම ප්‍රමාද වුණා. මෙය රටට විශාල ප්‍රශ්නයක්. ඒ නිසා අපගේ කටයුතු ප්‍රවේශමෙන් කරගන්නට සිදුවී තිබෙනවා. නැවත වරක් මේ රටේ කොරෝනා රැල්ලක් ඇතිවීමට ඉඩ තියෙනවා. ලෝකයේ සෙසු රටවල එහෙම ඇවිත් තිබෙනවා. සමහර රටවල් කියනවා ලබන වසරේ තව වටයකින් කොරෝනා වසංගතය එනවා කියලා. සමහර රටවල් නත්තල් සීයා තහනම් කරලා.
මේ කොරෝනා වසංගතය ගැන අපි ඇත්ත කතා කරන්නට ඕන. සමහර නිලධාරීන් කියනවා ගම් හා ආයතන වසා දමන්නට ඕනෑ කියලා. සමහර නිලධාරීන් කියනවා විවෘත කරන්ට ඕනෑ කියලා. මෙහි ඇත්ත ජනතාවට වසන් කරන්නට එපා.
කොරෝනාවට බෙහෙත් දැන් සොයාගෙන යනවා. ඒවා ලැබුණොත් මෙය අවසන් කරන්නට හැකි වෙනවා. ඒත් කොරෝනා තව වසර කීපයක්ම පවතිනවා. මේ බෙහෙත් ආරක්ෂා කරන්නේ කොහොමද කියන එකත් ප්‍රශ්නයක්. මේ අවස්ථාවේ අපි කවුරුත් වගකීමෙන් කටයුතු කරන්න ඕනෑ