ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව විසින් නවීන උපාංග රැසකින් යුතු වෙඩි නොවදින ජීප් රථයක් නිර්මාණය කර ඇත.
“ඇවලොන් 6×6”නමින් හඳුන්වන මෙම රථයට ඕනෑම භූමි ප්‍රදේශයක සිට කෘත්‍රිම බුද්ධිය භාවිත කරමින් තොරතුරු රැස් කිරීමේ හැකියාවද පවතී.
කොස්ගම පිහිටි ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ භට කණ්ඩායම් විසින් නිෂ්පාදනය කරනු ලබන මෙම රථය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් පසුගියදා නිරීක්ෂණය කළේය. මෙම අවස්ථාවට එම දෙපාර්තමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් දුමින්ද සිරිනාගද සහභාගි වූවේය.
මෙම දෙපාර්තමේන්තුව විසින් නිෂ්පාදනය කරන ලද යුනිකෝන්/යුනිබෆල් රථ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් කටයුතුවලටද යොදා ගැනේ.
“ඇවලොන් 6×6”රථය කැමරා, ඩ්‍රෝන ආදී නවීන උපාංගයන්ගෙන් සමන්විතය. මෙම රථය එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් කටයුතු සඳහා භාවිත කිරීමටද සැලසුම්කර ඇත. මෙමගින් මෙරටට විදේශ විනිමය උපයා ගැනීමටද අවස්ථාව උදාවේ.