22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeසාහිත්‍යයහිත දිවගියා රහසේ එක ඇසිල්ලක්……

හිත දිවගියා රහසේ එක ඇසිල්ලක්……

විච්චූරණ කෑම අද ඇත නැත පාඩු
රයිසුයි කොත්තු පිට්සා හා හරි ජෝඩූ
පිලිකා අම්ල පිත්තෙට ගත කිරි කෝඩූ
කෙළෙසක කියන්නද දුක හිත යට නෑඬූ

රසකර අජින මොට ගහලා බත් පතට
රසකාරක දමා සුවඳට කරි එකට
අපෙ කුළු බඩු ටිකට සමු දී යස රඟට
අපි වහ කන්නේ වනසා පරපුර යසට

පොත්තට කුරුඳු ගොරකා අත්තට රහසේ
ඉඳුනද මාළු හොද්දක් පෙරදා පහසේ
සාදික්කා සේර කරපිංචා සිතුසේ
අපෙ රස නහර වල තාමත් ඉමි පෙරසේ

අම්මා එදා ඇඹරුන්ගල උඩ තියලා
කරලට මිරිස් සම්බෝලෙට මග කියලා
පුච්චපු කරවලේ රස රහසින් තලලා
ගල් දූවට පදම අම මිහිරට පෙරලා

අඟුරෙන් පදම් කළ තක්කලි ගෙඩි දෙකට
ගල්දූවෙන් තැලුම් කෑ ලූණුද ඇත රඟට
වක්කර බින්දුවක් පොල් තෙල් ගල උඩට
දෙව් ලොව රස ගෙනාවේ අම්මගෙ අත් ගුණට

රතු බත එක්ක ලා පොල් ගා පිඟානට
ගින්දර වගේ බෙදුවම මැටි කෝප්පෙට
ලුණු මිරිසුත් එක්ක අනලා අමරසට
අම්මේ හිටිය නම් නුඹ අදටත් මෙමට

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments