29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්යාපනයේ පුස්තකාලය ගිනිතබා ඇරඹු කළුජූලියට අද වසර හතළිස් එකයි- දුමින්ද නාගමුව

යාපනයේ පුස්තකාලය ගිනිතබා ඇරඹු කළුජූලියට අද වසර හතළිස් එකයි- දුමින්ද නාගමුව

මීට අවුරුදු 41 කට කලින් 1983 වසරේ මුළු රටම විනාශයට ඇද දැමු කළු ජුලිය ආරම්භ වුණේ අද වගේ දවසක. එදා කළු ජූලියේ ප්‍රධාන ක්‍රියාකාරකමක් වුණේ යාපනයේ පුස්තකාලයට ගිනි තැබීම. පටන් ගත්තේ පොත්පත් වලට ගිනි තබලා. ඒ කියන්නේ දැනුමට අවබෝධයට පහර දීලා.
අද වසර 41කට පස්සෙත් ජනතාවට එරෙහි ප්‍රහාරය සිදු කරන්නේ සමාජයේ දේශපාලන අවබෝධයට, දැනුමට පහර දීලා. එදා කළු ජුලිය සංකේතවත් කළේ පාලකයන් බලය වෙනුවෙන් ජාතිවාදය මොන තරම් තුච්ඡ ලෙස යොදා ගන්නවද කියන එක. ඉන් අනතුරුව ගෙවුණු දශක හතර තුළත් වඳ කොත්තු, වඳ යට ඇඳුම්, වඳ බෙහෙත් වගේ කතා හරහා මුස්ලිම් ජනතාවට එල්ල කළ ප්‍රහාරය අපට මතකයි. අපි ඉතාම අසීරු කොන්දේසි යටතේත් ජාතික ගැටලුවට විසඳුමක් සොයන්න, ජාතිවාදය පරාජය කරන්න මැදිහත් වුණා. යුද්ධය අවසන් වූ ගමන් ලලිත් කුමාර් වීරරාජු සහ කුගන් මුරුගානන්දන් කියන අපේ සහෝදරවරු දෙදෙනා අතුරුදන් කිරීම් වලට එරෙහිව ජනතාව සංවිධානය කළා. ලංකාව කියන්නේ අතුරුදන් කිරීම් වලට එරෙහිව සටන් වැදුණු දෙදෙනාත් අතුරුදන් කළ රටක්. වසර 13කට පෙර ඔවුන් දෙදෙනා පැහැර ගත්තා, අදටත් තොරතුරක් නැහැ. අපි ජීවිත පරිත්‍යාගයෙන් ජාතිවාදයට සහ ජාතික පීඩනයට එරෙහිව සටන් වැදුනා. අපි අද ඔබ හමුවට පැමිණ සිටින්නේ ජන අරගල සන්ධානය ලෙස ජාතික ගැටලුවට ප්‍රතිපත්තිමය විසඳුමක් අරන්. අපි උතුරට එකක් කියලා දකුණට එකක් කියන්නේ නැහැ.
අපේ විසඳුම, අපේ වැඩපිළිවෙල පැහැදිලියි. අපි යෝජනා කරන්නේ පීඩිත ජනකොටස් වලට ස්වයං පාලන අයිතිය දෙන ක්‍රමයක්, අපි යෝජනා කරන්නේ ව්‍යවස්ථාදායකය දක්වාම ඒ සඳහා වන ව්‍යුහයන් ගොඩනගන ද්වි මණ්ඩල ක්‍රමයක්. අපි යෝජනා කරන්නේ ප්‍රභූ තන්ත්‍රයක් තම තමන් අත බලය බෙදා ගන්නවා වෙනුවට ජනතාවට බලය ලැබෙන ක්‍රමයක්. අපි මේ ප්‍රතිපත්තිය කියද්දී ඔබට හිතෙන්න පුළුවන්, ඕවා හොඳයි තමයි නමුත් කරන්න බෑ. ඒ නිසා අපි රනිල් එක්ක එකතු වෙලා මොනවා හරි ටිකක් ගන්නවා, අපි සජිත් එක්ක එකතු වෙලා පොඩ්ඩක් දිනා ගන්නවා කියලා. නමුත් එහෙම පොඩ්ඩක්වත් ගන්න වෙන්නේ නෑ. මේ ගොල්ලෝ කිසි දෙයක් බන්දේසියක තියලා අපට දෙන්නේ නෑ. ජනතාව අයිතීන් දිනා ගන්න වෙන්නේ අරගල කරලා, ජනතාවගේ බලය පෙන්වලා. ජාතික පීඩනයට උත්තරයක් දිනා ගන්න වෙන්නෙත් ඒ වෙනුවෙන් සටන් වැදිලා. ජන අරගල සන්ධානය කියන්නේ ජනතාවගේ අරගලය නියෝජනය කරන සන්ධානය. ජනතාවගේ අභිලාෂයන් දිනවන සන්ධානය. ඒ නිසා ජන අරගල සන්ධානය සමග එක්ව අයිතිවාසිකම් දිනාගමු කියලා අපි ඔබට ආරාධනා කරනවා. 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments