රටේ ජනතාව අද මුහුණ දී තිබෙන අර්බුදකාරී තත්වය ගැන ජනතා විමුක්ති පෙරමුණේ කරුණු පැහැදිලි කිරීමට සදහා පසුගියා දා මාධ්‍ය සාකච්ඡාව පවත්වනු ලබූවා. එහිදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා
ජනතාවට ජීවත් වෙන්න බැරි තරම් වේගයෙන් බඩුමිල ඉහළ යනවා. කොරෝනා තත්වය නිසා අර්බුදය තවත් උග්‍ර වෙලා. කෙරෝනා ව්‍යසනය එන්න කලින් රටේ ආර්ථිකය කඩා වැටීම ආරම්භ වුණා. උදාහරණයක් හැටියට 2020 ජනවාරි-මාර්තු කාර්තුවේ අපේ කෘෂිකර්මාන්තය 5.6%කින් කඩාගෙන වැටුණා. කර්මාන්ත ක්‍ෂේත්‍රය 7.8කින්, සේවා ක්‍ෂේත්‍රය 1.6කින් කඩාගෙන වැටුණා. කොරෝනා නිසා රට වැහුවේ මාර්තු 19වැනිදා. ඒ නිසා පළවැනි කාර්තුවට කොරෝනා බලපෑවේ නැහැ.
වත්මන් ආණ්ඩුවේ පාලනය යටතේ කෘෂිකර්ම, කර්මාන්ත, සේවා අංශයන් ගිය අවුරුද්දට සාපේක්‍ෂව බරපතළ කඩාවැටීමක් සිදුවෙලා. ඒ නිසා කොරෝනා නිසා ආර්ථිකය කඩා වැටුණා කියන එක ඇත්ත නෙවෙයි. මෙයින් පේන්නේ ආණ්ඩුවට ආර්ථිකය හසුරුවන්න බැරිකමයි. ජනතාවගේ මූලික අවශ්‍යතාවල මිල ඉහළ ගියේ කොරෝනා නිසා නෙවෙයි. ආණ්ඩුව බලයට පත්වෙලා කෙටි කාලයක් තුළ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වේගයෙන් වැඩිවෙලා තියෙනවා. ලෝක වෙළඳපොළේ තෙල්මිල සෘණ අගයකට පවා යද්දී ඒ වාසිය අපේ රටේ ජනතාවට දුන්නේ නැහැ. එදා විපක්‍ෂයේ සිටියදී ෆුට් සයිකල්වලින් පෙළපාලි ගිහිල්ලා තෙල් මිල අඩු කරන්න කියලා බලපෑම් කළ කණ්ඩායම අද ආණ්ඩු කරනවා. හැබැයි තෙල් මිල ශත පහක්වත් අඩුකළේ නැහැ. ජනතාව කොයි තරම් විපතට පත්වුණත් ආණ්ඩුවේ කිසිම සැලකිල්ලක් නැහැ.
කොරෝනා තත්වය කියලා බස් ගාස්තු වැඩිකළා. බස්වල ගෙනයන මගීන් ගාණ සීමා කරනවා කියන කොන්දේසියට යටත්වයි ගාස්තු වැඩි කළේ. හැබැයි පරණ සුපුරුදු විදිහට පොල් පටවලා යනවා වගේ මගීන් ප්‍රවාහනය කරනවා. මගීන්ගේ සෞඛ්‍ය ආරක්‍ෂාව කිසිසේත්ම සුරක්‍ෂිත වෙලා නැහැ. අනිකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා මිල ගණන්ද ඒ ආකාරයටමයි. 2019 නොවැම්බර් මාසයේ 20වැනිදා නිකුත් කළ මහබැංකුවේ නිල සංඛ්‍යා ලේඛන මා සතුව තිබෙනවා. ඒ වගේම 2020 දෙසැම්බර් 23වැනිදා වෙනකොට ඉදිරිපත් කළ නිල සංඛ්‍යා ලේඛනත් තිබෙනවා. 2019 නොවැම්බර් 20 සම්බා කිලෝ එකක් රු. 95/-යි. අද රු. 132 සිට 140 දක්වා අඩුම වශයෙන් රු. 37කින් මිල වැඩිවෙලා. නාඩු කිලෝ එකක එදා මිල 95/-යි. අද මිල 104යි. සුදු කැකුළු මිල එදා 95යි. අද 100යි. මේ ආණ්ඩුව බලයට පත්වුණාට පස්සේ හාල්වලට විතරක් ගැසට් පහක් ගැහුවා. හාල් වෙළෙන්දාටත් මෝල් හිමියාටත් ගැසට් ගැහුවා. සක්කරයාගේ පුතා වයිමා ආවත් මිල අඩු වෙලා නැහැ. බන්දුල ගුණවර්ධන ඇමතිවරයා විහිළුකාරයෙක් වෙලා. ඇත්තටම එතුමට කරන්න දේකුත් නැහැ.
රටින් ගෙන්වන ලොකු ළුෑණු එදා 147, අද 160යි. වියළි මිරිස් එදා රු. 480යි, අද 550යි. පොල් එදා රු. 58යි, අද රු. 85ට වැඩියි. රු. 120 දක්වා මිල ගණන් යටතේ තියෙනවා. අවුරුද්දක කෙටි කාලය ඇතුළත භාණ්ඩ මිල ගණන් මේ විදිහට වේගයෙන් වැඩිවෙනවා. ජාතිය අමතලා ජනාධිපතිවරයා රු. 65ට දෙනවා කියපු පරිප්පු එදා 2019 නොවැම්බර් මාසයේ රු. 110ට තිබුණා. අද රු. 180යි. පරිප්පු, බීළුණු, සැමන් අඩුමිලට දෙනවා කියලා ජාතිය අමතා කී කතාවත් බොරු වෙලා. රු. 100ට සැමන් නැහැ. රු. 150ට බී ළුෑණුත් නැහැ. ජාතිය අමතා කළ ප්‍රකාශයත් හෑල්ලුවට ලක්වෙලා. රු. 600ට තිබුණු හාල් මැස්සෝ අද රු. 850යි. පොල් තෙල් රු. 320 ඉඳලා 480 දක්වා වැඩිවෙලා. සීනි රු. 100 ඉඳලා 135 වෙනකං වැඩිවෙලා. අවුරුද්දක ප්‍රතිඵල ජනතාවට ජීවත් වෙන්න බැරි තත්වයට පත්වී ඇති බව මහ බැංකුවේ මේ වාර්තාවලින්ම පේනවා. එළවළු මිල උච්චාවචනය වන නිසා මම මෙතැනට ගන්නෙ නැහැ.ආණ්ඩුවට අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල පාලනය කරගන්න බැරි වෙලා. පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා විවිධ ප්‍රකාශ කළා. ඉතිහාසයේ පළවැනි වතාවට පොල්වලට ගැසට් එක ගැහුවෙත් ඒ අනුව 2020 සැප්තැම්බර් මාසේ 25වැනිදා ගහපු ගැසට් එකේ මිල ගණන්වලට අද කොහේවත් පොල් නැහැ. සෞභාග්‍යයේ ආණ්ඩුව ආවට පස්සේ ලංකා ඉතිහාසයේ පළවැනි වතාවට පොල්වලටත් මිලක් නියම කළා. හැබැයි ඒක විහිළුවක් බවට පත්වුණා.
වෙළඳපොළේ ඉල්ලුමට සරිලන පොල් සැපයුමක් නැති නිසා මිල වැඩිවෙන බව පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. එහෙම නම් ගැසට් ගහන්නේ මොකටද? ඉල්ලුම සැපයුම ප්‍රශ්නය ආවහම මිල උච්චාවචනය වළක්වන්නයි පාරිභෝගික අධිකාරිය තියෙන්නේ. ඒකේ සභාපතිවරයාම අපිට කරන්න දෙයක් නැහැ කියලා දෙසැම්බර් 13වැනිදා කියනවා. මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා හාල් පිළිබඳ අලුත්ම මිල පාලන ගැසට් එක ගහල කිවුවේ පහුවදා ඉඳලම වැඩි මිලට විකුණන කඩ වටලනවා කියලා. එහෙම වැටලීම් කරනවාද? ඇත්තම ගත්තොත් ජෝතිපාල ගායකයා කැසට් ගැහුවටත් වඩා දැන් මේ ආණ්ඩුව මිල පාලන ගැසට් ගහනවා. විහිළුකාරී ආණ්ඩුවක් වෙලා. මිල පාලනය ගැසට් ගැහුවාට මට කරන්න දෙයක් නැහැ කියලා වෙළඳ ඇමතිවරයා කියනවා. ආර්ථික මධ්‍යස්ථාන ටික වෙළඳ ඇමතිට නැහැ. විද්‍යාත්මක කියන ඇමති මණ්ඩලයේ වෙළඳ ඇමතිට අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ විකුණන ආර්ථික මධ්‍යස්ථාන ටික නැහැ. අද බඩුමිල වේගයෙන් ඉහළ යන්නේ එවැනි තත්වයක් යටතේයි.
ඒ අතර මහ බැංකුව සංඛ්‍යා ලේඛන සෙල්ලමක් කරනවා. බස් ගාස්තුව, තෙල් මිල, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය, මිල වැඩිවෙලා තියෙද්දී, ජනතාවගේ ආදායම් අවස්ථා අහිමි වෙලා තියෙද්දී රටේ බඩුමිල සම්බන්ධයෙන් මහ බැංකුව උද්ධමනය අඩුවෙලා තියෙන බව කියනවා. කොළඹ පාරිභෝගික මිල දර්ශකය පදනම් කරගෙන ඉදිරිපත් කළ උද්ධමනයට අදාළ සංඛ්‍යා ලේඛන දැන් ජාතික පාරිභෝගික මිල දර්ශකයෙන් ඉදිරිපත් කරනවා. නොවැම්බර් මාසයේ උද්ධමනය 4.1%ක් කියලා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සඳහන් කරනකොට එය පැත්තකට දාලා ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමනය පහළ ගියා ගියලා ආණ්ඩුව ප්‍රචාරය කරනවා.
ආර්ථිකය ශක්තිමත් බව ඇමතිවරුන් කියනවා. නමුත් මිනිස්සුන්ගේ ඇඟට දැනෙන ශක්තිමත් වීමක් නැහැ. මිනිස්සු හූල්ලමින් ඉන්නේ. පළමු කොරෝනා රැල්ලේදී ලොක්ඩවුන් කරලා දුන්නු රු. 5,000න් ජීවත් වෙන්න බැහැ. දැන් තත්වය ඊටත් වඩා බරපතළයි. පාරට බැහැලා කෑගහන්නේ ඒ නිසයි. ඒ ගැන වගේ වගක් නැතිව ආණ්ඩුව විහිළුකාරී ගැසට් ගහනවා.
ඒ වගේම කුප්‍රකට පොල්තෙල් සහ සීනි ගැසට්වලින් ලාභ ලැබුවේ ආණ්ඩුවේම ජාවාරාම්කාරයෝ දෙන්නෙක්, තුන් දෙනෙක්. ජනතාවට ලාභයකුත් නැහැ. ආණ්ඩුවට ලාභයකුත් නැහැ. මෙහෙම තියෙද්දී රජයේ සේවකයන්ට ලබාදෙන උත්සව අත්තිකාරම් මුදලත් නැවැත්වුවා. සේවකයන් රවට්ටන්න පරිපූරක උත්සව ණය යෝජනා ක්‍රමය කියල චක්‍රලේඛයකුත් නිකුත් කළා. බැලූ බැල්මට 0.625ක පොලියකට ණය දෙන බව කීවා. නමුත් මේක මාසික පොලිය. ඒ කියන්නේ වාර්ෂික පොලිය 7.5%යි. ඒ වගේම මහජන බැංකුව නිකුත් කළ ණය අයදුම්පතේ තවත් කොන්දේසිවලට යටත්ව පොලිය වැඩිවෙන්න පුළුවන්. ණය අයදුම්පතේම සඳහන් කරලා තියෙන්නේ “කෙසේ වෙතත් ණය මුදල පොරොන්දු ප්‍රකාරව ගෙවන්නේ නම් බැංකුවේ අභිමතය පරිදි අදාළ පොලිය 9.5% බැගින් අයකිරීමට නීත්‍යානුකූල හැකියාව ඇති බව පිළිගනිමි.” කියලා. මේ අනුව ගත්තාම 7.5%ටත් වැඩියෙන් පොලියක් අයකරන්න බැංකු සූදානම් වෙනවා. රජයේ සේවකයන්ට ලබාදුන් උත්සව අත්තිකාරම් අතිහිටුවලා අඩු පොලියක් පෙන්වලා රජයේ සේවකයන් රැවටීමක් කරලා.
මුදල් ඇමතිවරයා, වෙළඳ ඇමතිවරයා වගේම ඊටත් ඉහළින් ඉඳලා සමස්ත ආර්ථිකය මෙහෙයවන්නේ ආර්ථික පුනර්ජීවන සහ දරිද්‍රතාවය පිටුදැකීමේ කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්‍ෂ. 2010-2015දී ආර්ථිකය විෂය භාරව සිටියේ බැසිල් රාජපක්‍ෂ. රට මහා පරිමාණ ණය උගුලක හිරවුණේ, වංචා-දූෂණ ඉහවහා ගියේ ඔය ආර්ථික ඇමති හිටපු කාලයේ. අදත් ඒ ලොක්කා ඉන්දැද්දී පොල් ගෙඩිය රු. 110ට, 120ට ගිහින් තියෙනවා. ජනතාවට ගැසට්වල තියෙන පාලන මිලට ගන්න බඩු කොහේවත් නැහැ. රටත් ජනතාව දවසින් දවස අගාධයට පත්කරමින් තිබෙනවා. මේ මිල වැඩිවීම ජනතාවට දරාගන්න බැහැ. ඊට එරෙහිව ජනතාව පාරට බහින දිනය වැඩි ඈතක නෙවෙයි. දැනටත් පාරට බැහැලා ඒ වේදනාව උද්ඝෝෂණ මගින් ප්‍රකාශ කරනවා. ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපි ආණ්ඩුවට බල කරන්නේ වහාම අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අඩු කරන්න කියලා. රජයේ සේවකයන්ට උත්සව අත්තිකාරම් මුදල වහාම ලබාදෙන්න කියලා.
මහර බන්ධනාගාරයේදී රැඳවියෝ 11 දෙනෙකුට වෙඩි තියලා ඝාතනය කරනවා. වත්තල මහේස්ත්‍රාත් උසාවියේ ඒ පිළිබඳ නඩුවක් තිබෙනවා. ඊයේ වෙනකොට තවත් හතර දෙනෙකුගේ මරණයට හේතුව වෙඩි තැබීම කියලා ප්‍රකාශයට පත්වුණා. මීට ඉස්සෙල්ලත් 04 දෙනෙකු වෙඩි වැදිලා මැරුණා කියලා තහවුරු වුණා. 11 දෙනාගෙන් 08 දෙනෙක්ම වෙඩි වැදීමෙන් මැරුණු බව තහවුරු වෙලා තියෙනවා. බන්ධනාගාර ඇමතිවරයා මේ තත්වය වහගන්න වෙඩි වැදීමෙන් කවුරුත් මියගියේ නැහැ කියලා ප්‍රකාශයක් කළා. නමුත් පරීක්‍ෂණ කමිටු වාර්තාවලින් ඔප්පු වෙන්නේ වෙඩි තැබීම නිසා රැඳවියන් ඝාතනය වුණා කියලා. ඊයේ වත්තල උසාවියේදී ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ බොරුව හෙළිදරව් වී තිබෙනවා. අධිකරණයේ ඇප මත නිදහස් වීමට සිටි බොහෝ පිරිසක් බන්ධනාගාරයේ රඳවා තිබුණා. උද්ඝෝෂණය කළ රැඳවියන්ගේ පළවැනි ඉල්ලීම තිබුණේ ඇප ලැබී තිබුණු අය එළියට දාන්න කියලා. දෙවැනි එක පී.සී.ආර්. පරීක්‍ෂණ කරන්න. තුන්වැනි එක වෙනත් කඳවුරුවල කොරෝනා හැදුනු අය ගේනන එපා කියලා. හතරවැනි එක ආහාර ලබාදීම නිසි පරිදි කරන්න කියලා. එහෙම ඉල්ලපු අයට තමයි වෙඩි කන්න සිද්ධ වුණේ.