අදත් (16) සහල් තොග සැඟවූ තවත් වෙළෙන්‌ඳෙක් පිටකොටුවෙන් අල්ලයි
වැඩි මිලට සහල් අලෙවිකරණ සහ සහල් සඟවා සිටින වෙළඳුන් සොයා සිදුකරන වැටලීම්වලදී අද (16) දිනයේත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විශේෂ වැටලීමක් කොළඹ පරණ යොන් වීදිය (Old Moor Street ) ප්‍රදේශයේදී සිදු කර තිබේ.
මෙහිදී, බස්නාහිර පළාත් පොලිස් බුද්ධි ඒකකයේ නිලධාරීන් ලබාදෙනු ලැබූ තොරතුරු අනුව කිරි සම්බා සහල් උපායදුතයෙකු යොදවා ඉල්ලුම් කර ඇති අවස්ථාවක සහල් නොමැති බව අදාල ව්‍යාපාරිකයා පවසා ඇත. පසුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන්, බුද්ධි නිලධාරින් සමග සිදු කළ පරික්ෂාවේදී කීරි සම්බා කිලෝග්‍රෑම් 5 අසුරන 550 ක් පමණ සොයා ගෙන ඇත.
කිලෝග්‍රෑම් 2750 ක් පමණ වන සහ රුපියල් 715,000.00 ක වෙළදපොල වටිනාකමක් සහිත මෙම කීරි සම්බා සහල් අසුරන 550 ඉතා සූක්ෂම ලෙස සීනි උරවල සහ ලුණු බෑග් උරවල සඟවා තැබීම සිදුකර ඇති බව නිරීක්ෂණය වූ අතර මීට දින කිහිපයකට පෙර මෙම වෙළඳසැලම පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වැටලීම් සිදුකර නඩු පවරනු ලැබූ වෙළඳසැලැක් වීමද විශේෂත්වයකි .
මෙවැනි වැටලීමක් ඊයේ (15 ) දිනයේදීද බස්නාහිර පළාත් පොලිස් බුද්ධි ඒකකයේ නිලධාරීන් ලබාදෙන ලද තොරතුරු අනුව සිදුකරන ලද වැටලීමකදී තෝරාගත් පාරිභෝගිකයන් වෙත වැඩි මිලට අලෙවිකිරීම සදහා කොළඹ 12 ප්‍රදේශයේ ගබඩාවක සගවාගන තිබු රුපියල් 1,235,000.00 ක පමණ වෙළදපොල වටිනාකමක් සහිත කිලෝග්‍රෑම් 5 කීරි සම්බා සහල් අසුරන 950 ක් පමණ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරීන් විසින් සොයාගන්නා ලදී.
එමෙන්ම, පසුගිය 10 වන දිනයේද බුද්ධි ඒකකයේ නිලධාරීන් ලබාදෙන ලද තොරතුරු අනුව කොළඹ පරණ යොන් වීදිය (Old Moor Street ) ප්‍රදේශයේදී සිදු කරන ලද වැටලීම්වලදී රුපියල් මිලියන 4 කට වැඩි වෙළදපොල වටිනාකමක් සහිත සහල් අසුරන 3000 කට වැඩි ප්‍රමාණයක් සොයාගන්නා ලද අතර මේ වනවිට ඒ සම්බන්ධවද නීතිමය පියවර ගෙන ඇත.
වැඩි මිලට සහල් අලෙවිකරණ සහ සහල් සගවාතබන වෙළදුන් සොයා සති අන්ත සහ නිවාඩු දිනවලද මෙන්ම රාත්‍රී කාලයේද අඛණ්ඩව වැටලීම් ක්‍රියාත්මක කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.