22 C
Sri Lanka
Tuesday, May 20, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්අපගේ ජීවිතයේ සෑම අංශයක්ම අලුත් කිරීම අත්‍යවශ්‍ය වන මොහොතක මෙවර අලුත් අවුරුද්ද...

අපගේ ජීවිතයේ සෑම අංශයක්ම අලුත් කිරීම අත්‍යවශ්‍ය වන මොහොතක මෙවර අලුත් අවුරුද්ද උදා වු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය පවසන්නීය.

මෑත ඉතිහාසයේදී ආර්ථික අර්බුදය, බොහෝ දෙනෙකුට අවුරුදු සැමරීමේ සිතුවිල්ල පවා දුෂ්කර වී තිබු බවත්, දූෂණ, වංචා චක්‍රයකින් මිදීමට ජනතාව ගත් නිර්භීත උත්සාහයෙන්, නව ආරම්භයකට මග පෑදී ඇති බව ඇය පෙන්වා දෙයි.

එම නිසා 2025 වසර අලුත් අවුරුදු සැමරුම සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව සිය අලුත් අවුරුදු පණිවිඩය මගින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය සඳහන් කළාය.

“පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” සඳහා එක්ව කටයුතු කරන අතරතුර, අලුත් බලාපොරොත්තුවකින් සහ නැවුම් ඉදිරි දැක්මකින් යුතුව අපි අලුත් අවුරුද්ද පිළිගනිමු.

එකමුතුකමෙන් සහ ත්‍යාගශීලි බවින් යුතුව අලුත් අවුරුද්ද සමරන ශ්‍රී ලාංකික සිංහල සහ දෙමළ ජනතාව වෙත මගේ සුබ පැතුම් පිරිනමමි.

අපගේ ජීවිතයේ සෑම අංශයක්ම අලුත් කිරීම අත්‍යවශ්‍ය වන මොහොතක මෙවර අලුත් අවුරුද්ද උදා වෙයි. අපගේ සංස්කෘතිය හා වටිනාකම් තුළ මුල් බැසගත් – ධනාත්මක වෙනසක් ළඟාකර ගැනීමට සහ අරමුණු පෙරදැරිව, එකමුතුකමෙන් ඉදිරියට යායුතු බව මේ සාම්ප්‍රදායික උත්සවය අපට සිහිපත් කරදෙයි.

මෑත ඉතිහාසයේදී ආර්ථික අර්බුදය, බොහෝ දෙනෙකුට අවුරුදු සැමරීමේ සිතුවිල්ල පවා දුෂ්කර කොට තිබිණි. කෙසේ වෙතත්, දූෂණ, වංචා චක්‍රයකින් මිදීමට ජනතාව ගත් නිර්භීත උත්සාහයෙන්, නව ආරම්භයකට මග පෑදී ඇත.

2025 වසර අලුත් අවුරුදු සැමරුම සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නේ එහෙයිනි. එය, උතුර දකුණ නැගෙනහිර සහ බටහිර පුරා සියලුම ප්‍රජාවන් වඩා සුබදායී අනාගතයක් ගොඩනැගීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම යටතේ එක්වූ සහ එක්වෙමින් සිටින වසරකි. එළඹෙන මැයි මාසයේදී ඒ ජනතා පැතුම් යළිත් මල්පල දරනු ඇත.

නව වසරේ නව පරිච්ඡේදය ආරම්භ කරන මොහොතේ, ඔබේම ප්‍රජාවන් තුළ ගෞරවය, සාමය සහ සහකම්පනයෙන් යුතුව කටයුතු කරන ලෙස මම සෑම පුරවසියෙකුගෙන්ම ඉල්ලා සිටිමි. ඉදිරි වසර තුළ සාර්ථකත්වය සහ ප්‍රගතිය අත්කර ගැනීම සඳහා කැපවීම, විශ්වාසය සහ ඔරොත්තු දීමේ හැකියාව ඇතිව කටයුතු කිරීමට අපි අදිටන් කරගනිමු.

මෙම සිංහල දෙමළ අලුත් අවුරුද්ද සමරන සියලුම ශ්‍රී ලාංකිකයින් වෙත, ශ්‍රී ලාංකීය ජාතියට නැවුම් පරිවර්තනයක් සහ සෞභාග්‍යමත් හෙට දවසක් උදෙසා වන ශක්තිය, එකමුතුකම සහ නව ජවය ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි…!

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments