එංගලන්තයෙන් හා ඔස්ට්‍රේලියාවෙන් ආනයනය කරන ලද බව ප්‍රකාශ කරමින් අලෙවි කිරීමට සූදානම් කර තිබූ සුවඳ විලවුන් තොගයක් සම්බන්ධයෙන් රාජගිරිය ප්‍රදේශයේ ආයතන දෙකක පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් පසුගිය ජුනි මස 06 වන දින වැටලිමක් සිදු කර තිබේ.
වැටලීමේ දී නිලධාරීන් භාරයටගත් තොගය සහ ඒ සම්බන්ධව තවදුරටත් සිදුකරනු ලැබූ විමර්ශන වලින් අනතුරුව එම ආයතනයන්ට එරෙහිව (24) මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කර ඇත.
අදාළ නඩුවේ දී එංගලන්තයේ නිෂ්පාදනයක් බව පවසමින් ක්‍රීම් හා කන්ඩිෂනර් දේශියව ලේබල්කර විකිණිම සඳහා ඉදිරිපත් කිරීම, කල් ඉකුත් වූ ශරීරාලේපන ඇසුරුම් විකිණිම සඳහා ඉදිරිපත් කිරීම, ආනයනකරුගේ/වෙළෙඳපලට නිකුත් කරන්නාගේ තොරතුරු නොමැතිව ශරීරාලේපන විකිණිම සඳහා ඉදිරිපත් කිරීම, සටහන් කරන ලද තොරතුරු ඉවත් කර නව නිෂ්පාදන දිනයක්, කල් ඉකුත්වීමේ දිනයක් සටහන් කර ශරීරාලේපන ඇසුරුම් විකිණිම සඳහා ඉදිරිපත් කිරීම සහ සැපයුම්කරුගේ කුවිතාන්සියක් හෝ බිල්පත් නොමැතිව භාණ්ඩ විකිණිම සඳහා ප්‍රදර්ශනය කිරීම යන චෝදනා 5ක් සම්බන්ධයෙන් රාජගිරිය ඩොනල්ඩ් අබේසේකර මාවතෙහි ව්‍යාපාර කටයුතු සිදු කරගෙන යන සෙරෙන් සෙන්ට්ස් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම වරද පිළිගැනීමෙන් අනතුරුව එක් චෝදනාවකට රුපියල් 25000 බැගින් රුපියල් එක් ලක්ෂ විසිපන් දහසක දඩයක් නියම කරනු ලැබීය.
එසේම ආනයනකරුගේ තොරතුරු සඳහන් නොකර ශරීරාලේපන, විටමින්, හිස ආලේපන විකිණීමට ප්‍රදර්ශනය කිරීම සහ සැපයුම්කරුගේ කුවිතාන්සියක් හෝ බිල්පත් නොමැතිව භාණ්ඩ විකිණිම සඳහා ප්‍රදර්ශනය කිරීම යන චෝදනා 4ක් සම්බන්ධයෙන් රාජගිරිය අඹ ගහ හංදිය ප්‍රදේශයේ ව්‍යාපාර කටයුතු සිදු කරගෙන යන එස් ඇන්ඩ් ඩී ඩෙස්ටිනි පුද්ගලික සමාගම වරද පිළිගැනීමෙන් අනතුරුව එක් චෝදනාවකට රුපියල් 25000 බැගින් රුපියල් ලක්ෂයක දඩයක් ගරු අධිකරණය මගින් නියම කර ඇත.
එසේම ඉහත වෙළෙඳ ආයතන දෙකෙන් නිලධාරීන් භාරයටගත් රුපියල් මිලියන 10 කට ආසන්න වෙළෙඳපල වටිනාකමක් සහිත අදාළ භාණ්ඩ තොගය, රාජසන්තක කොට විනාශ කිරීමට අධිකරණය මගින් නියම කර ඇත.
