22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීම සඳහා විශේෂ වැඩපිළිවෙලක්

විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීම සඳහා විශේෂ වැඩපිළිවෙලක්

විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීම සඳහා   කොවිඩ් මර්දන කමිටුවේ මග පෙන්වීම ඔස්සේ විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන බව කම්කරු ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහතා ප්‍රකාශ කරයි. 

ඒ  අනුව පළාත් නවය ආවරණය වන පරිදි නිරෝධායන මධ්‍යස්ථාන නවයක් සකස් කිරීමට තමා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට උපදෙස් දුන් බවද හෙතෙම කීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (02) කම්කරු අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. එහිදි වැඩිදුරටත් කතා කළ ඇමැති වරයා මෙසේද කීය......කම්කරු අමාත්‍යාංශයට සම්බන්ධයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය එහි පරිපාලනය මෙහෙයවන්නේ රාජ්‍ය අමාත්‍යාංශය මගිනුයි. අපිට තිබෙන්නේ එහි කටයුතු අධීක්ෂණය කිරීම හා නියාමනය කිරීම. 

පසුගිය කාලපරිච්ඡේදය තුලදී විදේශ ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම පිළිබඳ විශාල විවේචන ජනාමාධ්‍ය තුලත් ඉන් පිටතත් තිබුණා. විදේශවල රැඳි සිටි විශේෂයෙන් අපේ ශ්‍රමිකයින් තිස් දහසකට අධික ප්‍රමාණයක් ලංකාවට පැමිණිලා තිබෙනවා. පසුව ඒ රටවලට යළි යන්න අවශ්‍යයි කියන අයව ඒ රටවල වීසා නිකුත්වන ආකාරයට ටික යැවීමත් ආරම්භ කරලා තියෙනවා. නමුත් විශාල මැසවිල්ලක් තියෙනවා තවත් සිටින විසිඅටදහසක් පමණ දෙනාව ඉක්මනින් ගෙන්වා ගන්නේ නැත්තේ ඇයි කියලා. සමහර කියනවා මේ ගෙන්වා ගැනීමට නොහැකිවි තිබෙන හේතුව ඒ අයට ගුවන් ටිකට් පත් ගන්න පුළුවන් කමක් නැති නිසා කියලා. මම මේ ගැන සෙවීමේදි එවැනි ප්‍රශ්නයක් නැති බව පෙනුනා. ඒ අනුව මම කාර්යාංශය නියෝග කළා. කාර්යාංශයේ මුදල් වියදම් කරලා කාර්යාංශයේ ලියාපදිංචිවෙලා විදෙස් රැකියාවලට ගිය ශ්‍රමිකයෙක් වේ නම් ඔහුගේ පවුලේ අය එම රටේ සිටිනවා නම් ඒ සියලු දෙනා පිළිබඳව තොරතුරු ලබාගෙන ඔවුන්ට ගුවන් ටිකට් පත් ගැනීමේ වුවමනාවක් තිබෙනවා නම් මුදල් අපහසුතාවයක් තිබේ නම් වහාම  කාර්යාංශය මගින් ඒ සියලු දෙනාට ගුවන් ටිකට් පත් ලබා දෙන්න කියලා. එමෙන්ම   ගුවන් ටිකට් පත් ලබාදුන් පමණින්ම මේ ප්‍රශ්නය විසඳීමට පුළුවන් කමක් නැහැ. විශේෂයෙන් කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරස මර්දන වැඩපිළිවෙල සඳහා  පත් කර තිබෙන ජාතික කමිටුව තමයි විදේස්වල සිට පැමිණෙන අපේ ශ්‍රමිකයින් ඇතුළු විදේශිකයින් පැමිණීම පාලනය කරන්නේ ඒ කමිටුව මගිනුයි. එම කමිටුවෙන් විමසන විට අපිට කියන්නේ නිරෝධානයන සඳහා එක පාරට විශාල ප්‍රමාණයක් ලංකාවට ගෙනාවොත් ඒ නිරෝධායන පහසුකම් ලබාදීමේ ඉඩකඩක් නැහැ කියලයි. දැනටමත් හමුවන කොවිඩ් ආසාදිතයින් නිරෝධායනයට යොමු කළ යුතුව තිබෙනවා. විශාල ප්‍රමාණයක් ගෙන ආවොත් නිරෝධායන පහසුකම් නැතැයි කියලා. 

ඒ නිසා මම ඉල්ලා සිටියා  ඒ අයව නිවෙස්වලදීම නිරෝධායනට ලක් කරන්න කියලා ඒ ගැන තවමත් තීරණයක් අරගෙන නැහැ. ඒවා සෞඛ්‍ය පදනම් මත ගත් තීන්දුයි. අපට දේශපාලන තීන්දු ඒ වෙනුවෙන් ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මම විශ්වාස කරනවා කොවිඩ් මර්දන බලකාය මේ කරුණු සැළකිල්ලට අරගෙන යම් ආකාරයකින් මේ විදේශ ශ්‍රමිකයින් වැඩි ප්‍රමාණයක් ලංකාවට ගෙන ඒමට අපිට අහස් යාත්‍රා සකස් කර දෙන්න පුළුවන් ටිකට් අරගෙන දෙන්න පුළුවන් ඒ සඳහා හැකියාවක් නැති අයට. මෙතැන තිබෙන හිඩැස තමයි  ලංකාවට දහසක් වගේ ගෙනාවාම මේ අය නිරෝධායනය කරන්නේ කොහොමද ඒ සඳහා තිබෙන පහසුකම් තියෙනවාද කියා.   

ඒ නිසා මම ලේකම් මාර්ගයෙන් කාර්යාංශයට දැනුම් දුන්නා නිරෝධායනය කිරීමේ පහසුකම් වැඩිකරන්න ඊට උදව් කරන්න කියලා. කොවිඩ් මර්දන බලකායත් සමග එකතු වෙලා ඊට අවශ්‍ය මුදල් සපයා දෙන්න. දිස්ත්‍රික්ක නැත්නම් පළාත් නවයේ කාර්යාංශය මගින් බලකායත් සමග මෙහෙයවනු ලබන එවැනි නිරෝධායන මධ්‍යස්ථාන නවයක් ඉදිකරන්න කියලා. ඒ සඳහා සුදුසු ගොඩනැඟලි කුලියට අරගෙන කාර්ය මණ්ඩල ඒවාට බඳවාගෙන. එසේ කළොත් මේ නිරෝධයනය පිළිබඳ ගැටලුව ඉක්මනට විසඳන්න පුළුවන් වෙයි.ඒ සඳහා කාර්යාංශයේ තිබෙන මුදල්  නොපැකිළිව   නොමසුරුව වියදම් කරන්න කියලා මම දැන් උපදෙස් යවා තිබෙනවා. එය කිරීමේ වගකීම තියෙන්නේ කාර්යාංශය වෙතයි.

කොවිඩ් මර්දනය කිරීමේ බලකායේ මග පෙන්වීම ඔස්සේ මේ කටයුතු කඩිනමින් කළොත් අපිට මීට කඩිනම් විසඳුමක් ලබාගන්න පුළුවන් වෙයි.  ඒ වගේම ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ගුවන් ටිකට් පත් ගැනීමට නොහැකි අය සිටිනවා නම් විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ ලියා පදිංචි වෙන්න අපිට ටිකට් ගන්න විදියක් නැහැ ටිකට් ලබාදෙන්න කියලා. අපේ ගාස්තු විරහිත සම්බන්ධතා අංකයක් තිබෙනවා 800119119 මේ අංකය අමතලා අවශ්‍ය විස්තර ලබාදුන්නොත්  ඒ අයට ලියාපදිංචිවෙලා මෙම ගුවන් ටිකට් පත් අරගෙන දීමට පුළුවන් වෙනවා. ඒ අනුව අපි සතියක් යනවිට බලනවා ගුවන් ටිකට් පත් කොපමණ ඉල්ලා තිබෙනවාද කියලා. එහිදි අපි කියපු නිර්ණායක අනුව සුදුසුකම් පරීක්ෂා කරලා ගුවන්ටිකට් පත් ලබාදීමට කටයුතු කරනවා. 

තවත් ප්‍රශ්නයක් තියෙනවා. රැකියා අහිමිවෙලා පැමිණෙන විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් දැනට අපි කාර්යාංශය මගින් රුපියල් පනස් දහසක් ලබාදෙනවා. මම කිව්වා මේ පනස් දහස රුපියල් ලක්ෂය දක්වා වැඩිකරන්න කියලා.එමෙන්ම තවත් පොළි රහිත රුපියල් පනස් දහසක ණයක් ලබාදෙන්න කිව්වා යම් වෘත්තීයක් ආරම්භ කරන්න යම් කාර්යක යෙදීම සඳහා.  මේ ගැන සොයා බැලීමේදි අපට තොරතුරු ලැබි තිබෙන්නේ ඔවුන්ට අවශ්‍යව ඇත්තේ  යළි විදෙස් රැකියාවලට යෑමටයි. එසේ නැතිව මෙහි නවතින් අවශ්‍ය අය ඉන්නවා නම් තමන්ගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා රුපියල් පනස් දහසේ මුදල රුපියල් ලක්ෂය දක්වා වැඩිකරලා ලබා දෙන්න කියා මම උපදෙස් ලබාදී තිබෙනවා. ඒ වගේම රක්ෂණ සහතික රැගෙන විදේශ ගතවු ශ්‍රමිකයින් සිටිනවානම් ඔවුන්ට ඒ රක්ෂණ සහතිකවේ දීමනාවන්  ගෙවීම සඳහා ඉක්මන් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස සභාපති, සාමාන්‍යාධිකාරියරයා වෙත නියෝග කර තිබෙනවා. ඊට අමතරව සභාපති, සාමාන්‍යාධිකාරි,ගණකාධිකාරිහා විදේශ අමාත්‍යාංශයේ විදේශ සබඳතා අංශයේ  ප්‍රධානියාගෙන් සමන්විත හා භාණ්ඩාගරයේ නියෝජිතයෙකුගෙන් සමන්විත  කමිටුවක් පත්කොට එය වහාම රැස්වී මා විසින් ලබාදී ඇති මග පෙන්වීම අනුව කටයුතු ඉටුකරලා මේ ශ්‍රමිකයින්ට  දැනටමත් රුපියල් මිලියන 30.4ක මුදලක් කාර්යාංශය වෙන් කර තිබෙනවා  ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රමිකයින්ගේ සුභසාධනය සඳහා ඒ මුදල ප්‍රමාණවත් නැත්නම් ඊට වඩා මුදලක් දැනට ස්ථීර තැන්පතුවල තිබෙන කාර්යාංශයේ මුදල් භාණ්ඩාගාරයේ අවසරය ඇතුව ඉවත් කරගෙන  සුභසාධනය සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාණය යොදවන්න කියන උපදේශයත් මම ලබාදී තිබෙනවා. ඒ නිසා මම විශ්වාස කරන වා තව සති දෙකක් පමණ යනවිට කීදෙනකුට ගුවන් පත් අවශ්‍යද ඒ වගේම පිටරට සිටිනවානම් අපේ අය අපෙන් ආධාර උපකාර අවශ්‍ය උදව් කළ හැකියි. අපිට එම උපකාර කළ හැක්කේ විදේස් සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවි ඒ අවසරය මත පිටරට ගිය අයට පමණයි. අනෙක් අයට මේ මුදල් වියදම් කිරීමේ හැකියාවක් අපිට නැහැ. එහෙම වුණොත් මුදල් රෙගුලාසි උල්ලංඝනය කිරීමක් වෙනවා.  

ඒ අනුව මෙම වැඩ සටහන කොවිඩ් මර්දන බලකායත් සමග එක්ව සකස් කරලා එය පාර්ලිමේන්තුවට දැනුම් දීමට මගේ ලේකම් මගින් මාවෙත දැනුම් දෙන ලෙස රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෙත දැනුම් දී තිබෙනවා අවශ්‍ය සම්බන්ධිකරණ කටයුතු කරන්න කියලා.

 ඊළඟට අපේ කම්කරු අමාත්‍යාංශය මගින් කම්කරුවන්ගේ සුභසාධනය සඳහා වැඩකටයුතු රාශියක් මේවනවිට කර තිබෙනවා. තව වැඩකටයුතු රාශියක් කරගෙන යනවා. මුලින් ම වතුකරයේ එනම් වැවිලි ක්ෂේත්‍රයේ කම්කරුවන් සඳහා දෛනිකව රුපියල් දහසක්  ලබාදීමේ ගැටලුව පිළිබඳ කතා කළොත් මෙතෙක් කල් හාම්පුතුන් හා වෘත්තීය සමිති අතර තිබුණා සාමුහික ගිවිසුමක් එමගින් තමයි වැටුප,දීමනා,කොන්දේසී, නිෂ්පාදන හා පැමිණීමේ දීමනා පිළිබඳ එකඟත්වයකට පැමිණියේ. එම ගිවිසුම ඉකුත්මාසයේ (30)වනවිට අවසන්වුණා.  නැවතත් සාමුහික ගිවිසුමක් දෙපාර්ශවය අතර ඇති කරගැනීම සඳහා සෑම ප්‍රයත්නයක්ම අපි දැරුවා. සාකච්ඡා වට දොළහක් පමණ අපි පැවැත්වූවා. එහිදි සමහර කොන්දේසීවලට වෘත්තීය සමිති එකඟ නැහැ සමහර කොන්දේසිවලට හාම්පුතුන් එකඟ නැහැ.ඒ නිසා මේ දෙගොල්ලන්ගේ එකඟත්වයක් නැතිව මට බලයෙන් සාමුහික ගිවිසුමක් අත්සන් කරන්න මට බලයක් නැහැ. සාමුහික ගිවිසුමේ කාලය හාම්පුතුන් කියනවා වසර හතරාමාරකට යන්න ඕනේ කියලා වෘත්තීය සමිති කියනවා වසර දෙකහාමාරකට යන්න ඕනේ කියලා මම කිව්වා වසර තුනකට හරි ගොස් එකඟතාවයකට යන්න කියලා. එසේ එකඟවුණානම් දෛනිකව රුපියල් දහසක් සේවයකුට ලබාදෙන්න හාම්පුතුන් එකඟ වෙන්න තිබුණා නමුත් මේ කොන්දේසි ගැන තමයි දැන් ගැටලු මතුවි තිබෙන්නේ. ඒ නිසා මීට පිළියමක් ලෙස  අපි කල්පනා කරා   යම් ආකාරයකින්  පඩිපාලක සභාව මගින් නියෝගයක් ලබාදෙන්න  දෛනික අතට ලැබෙන මුදල රුපියල් දහසක් කිරීම සඳහා යම් ක්‍රමවේදයක් අපි සකස් කරගෙන යනවා. මෙම (08) පඩිපාලක සභා රැස්වෙනවා එහිදි මේ සඳහා ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අපි පියවර ගන්නවා. 

කම්කරුවන්ගේ සුභසාධනය සඳහා අපි වැඩකටයුතු රාශියක් ඉටුකර තිබෙනවා. වැඩබිමේ අනතුරකදි සේවකයකු මිය ගියවිට ලැබෙන වන්දිය රුපියල් ලක්ෂ පහමාරේ සිට රුපියල් ලක්ෂ විස්ස දක්වා වැඩිකරන්න ක්‍රියා කර තිබෙනවා. ඊට අමතරව අබාධිත වන අකාරය ලැබෙන වන්දි වැඩිකරන්න තීරණ අරගෙන තිබෙනවා. එමෙන්ම දැනට තිබෙන වැටුප රුපියල් දසදහසයි එය දොළොස්දහස් පන්සීය දක්වා වැඩිකරන්න අපි කැබිනට් අනුමැතිය ලබාගෙන තිබෙනවා. එමෙන්ම සේවකයින්ගේ සේවය අවසන් කරනවිට උදාහරණයක් ලෙස කොවිඩ් ප්‍රශ්නය නිසා යම් ඇඟලුම් කර්මාන්ත ශාලාවකට පිටරටින් එන ඇණවුම් නතර වෙලා තියෙනවා නම් ඒ අයට එම කර්මාන්ත ශාලාව පවත්වාගෙන යන්න බැහැ. එවැනි අවස්ථාවකදී සේවකයින් ඉවත් කරනවානම් දැනට තිබෙන වන්දි ක්‍රමය අනුව වැඩිම ගෙවන්න පුළුවන් රුපියල් දොළොස් ලක්ෂ පනස් දහසයි.එක රුපියල් ලක්ෂ විසිපහ කරන්න මම පියවර අරගෙන තිබෙනවා.  කම්කරු ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අපි පනත් ගණනාවක්ම සම්මත කෙරුණා. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සමාජ ආරක්ෂණ ගිවිසුමක් ඇති කරගත්තා එහි සේවය කරන අයගේ සේවක අර්ථසාධක අරමුදල්වල මුදල් ඒ රටෙහි අරමුදලට නොව අපේ අරමුදලට බැර කරන්න.පෞද්ගලික අංශයේ වැඩ තහනමකට ලක්වෙන සේවකයකුගේ එම පරීක්ෂණ මාස හයක් ඇතුළත අවසන් කළ යුතු බවටද අපි නීති හඳුන්වාදී තිබෙනවා. එවැනි කම්කරුවන්ගේ සුබසෙතට අවශ්‍ය පනත් ගණනාවක් අපි නිහඬව සම්මත කරගෙන තිබෙනවා. 

මේඅවස්ථාවට කම්කරු අමාත්‍යාංශ ලේකම් මාපා පතිරණ හා කම්කරු කොමසාරිස් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහත්වරුද මේ අවස්ථාවට එක්වූහ. 
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments