28 C
Sri Lanka
Friday, August 1, 2025
Homeදේශීය පුවත්තේ කර්මාන්තයේ සංවර්ධනය හා ප්‍රවර්ධනය සඳහා නීති සංශෝධනයට අනුමැතිය.

තේ කර්මාන්තයේ සංවර්ධනය හා ප්‍රවර්ධනය සඳහා නීති සංශෝධනයට අනුමැතිය.

තේ කර්මාන්තයේ සංවර්ධනය හා ප්‍රවර්ධනය සඳහා ශ්‍රී ලංකා ‍‍තේ (අපනයන බදු සහ පාලන) පනත යටතේ වන නියෝගයකට සහ විනිමය පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය.

1959 අංක 16 දරන ශ්‍රී ලංකා ‍තේ (අපනයන බදු සහ පාලන) පනත යටතේ වන නියෝගයකට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවිය. ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා (15) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

ඒ අනුව තේ කිලෝග්‍රැම් 1ක් මත රු.3/- ක බලපත්‍ර ගාස්තුවක් ගෙවීමටද එම බලපත්‍ර ගාස්තුව තේ වගාව හා කර්මාන්තයේ සංවර්ධනය හා ප්‍රවර්ධනය සඳහා යොදා ගැනීමට මෙමගින් අපේක්ෂා කරන බව නිලධාරීහු පැවසුහ. එම මුදල ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් පිහිටුවා ඇති ප්‍රාග්ධන අරමුදලට බැර කිරීමට ද අපේක්ෂිතය. මේ තුළින් තේ කර්මාන්තයේ නියැලෙන්නන්ගේ තේ ඉඩම්වල ඵලදායීතාවය ඉහළ නැංවීම සඳහා තේ නව වගා, නැවත වගා, පාළු සිටුවීම්වලට යොමුවීම සහ තේ කර්මාන්ත ශාලාවල කාර්යක්ෂමතාවය මෙන්ම නිෂ්පාදනවල ගුණාත්මකභාවය ද වැඩිදියුණු කිරීමට හැකියාවක් ලැබෙනු ඇති බවද ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නිලධාරීහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවැසුහ. මේ අතර අපනයන බෝගයක්වන තේ සඳහා පනවා ඇති සෙස් බද්ද මගින් ලැබෙන අදායම කර්මාන්තයේ සංවර්ධනය උදෙසා නොලැබීම පිළිබඳව විමසා සිටියේය. කෙසේ වෙතත් එම මුදල් තම මණ්ඩලයට නොලැඹෙන බව එම නිලධාරීහූ කාරක සභාවට දැන්වූහ. ඒ අනුව අපනයන සංවර්ධනය උදෙස පනවා ඇති එම සෙස් බද්ද මගින් ලැබෙන අදායම ඒ ඒ අදාළ කර්මාන්ත ප්‍රවර්ධනය උදෙසා ලබාදීමේ වැදගත්කම කාරක සභා සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

මේ අතර 1927 අංක 25 දරන විනිමය පත්‍ර ආඥාපනතේ යල් පැන ගිය විධිවිධාන සංශෝධනය කිරීම හෝ ඉවත් කිරීම සඳහා වූ විනිමය පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත ද කාරක සභාවේදී සලකාබලා අනුමත කරන ලදී.

ඒ අනුව මෙම ආඥා පනත සංශෝධනය කිරීම මගින් වංක හා වැරදි සහගත චෙක්පත් අණකරුවන් සම්බන්ධයෙන් සාපරාධී වගකීම පැනවීමට හැකිවන අතර එදිනෙදා ව්‍යාපාරික කටයුතුවලදී නීතියට අනුකූල වන පරිදි විනිමය බිල්පත් භාවිතා කිරීම පිණිස පහසුකම් සැලසීම සහ චෙක්පත් ඉලෙක්ට්‍රොනිකව ඉදිරිපත් කිරීමට අදාළ විධිවිධාන සලසා දීම අරමුණු කර ඇති බව නිලධාරීහු කාරක සභාවට දැන්වුහ.
මේ අතර පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තා සහ කාරක සභා රැස්වීම් වල වාර්තා සහ කාර්ය සටහන් සකස් කිරීමේ පද්ධතිය නවීකරණය කිරීම සඳහා, ආරක්ෂිත AI වේදිකාවක නියමු පරීක්ෂණයක් ද කාරක සභාවේ එකගතාව මත මෙම රැස්වීමේදි සාර්ථකව සිදු කෙරිණි.

මේ රැස්වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂණ රාජකරුණා , (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න, චම්පික හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීහු සහභාගි වූ අතර , නිමල් පලිහේන සහ විජේසිරි බස්නායක යන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments