30 C
Sri Lanka
Monday, August 25, 2025
Homeව්‍යාපාරික පුවත්ඇම්රැක් සහ ඩීකින්, ශ්‍රී ලාංකික හෙද සිසුන්ට ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනයට මඟ පාදයි

ඇම්රැක් සහ ඩීකින්, ශ්‍රී ලාංකික හෙද සිසුන්ට ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනයට මඟ පාදයි

ඇම්රැක් වෛද්‍ය විද්‍යා ආයතනය සහ ඕස්ට්‍රේලියාවේ ඩීකින් විශ්වවිද්‍යාලය, ශ්‍රී ලාංකික හෙද සිසුන්ට ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි හෙදියන් වීමට මාවතක් විවර කිරීම උදෙසා හවුල්කාරිත්වයකට එළැඹ තිබේ. මේ තුළින් ඇම්රැක් හි තෙවන වසරේ හෙද සිසුන්ට ඔවුන්ගේ අවසන් වසරේ අධ්‍යයන කටයුතු සඳහා ඕස්ට්‍රේලියාවේ ඩීකින් විශ්ව විද්‍යාලයට පිවිසිය හැකි අතර අධ්‍යයන කටයුතු අවසානයේ දී, ඩීකින් විශ්ව විද්‍යාලයේ උපාධියක් සහිතව ඕස්ට්‍රේලියාවේ හෙදියන් ලෙස ලියාපදිංචි වීමට සහ සේවය කිරීමට අවස්ථාව හිමිවේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසන පරිදි, 2030 වන විට ගෝලීය වශයෙන් මිලියන 11ක පමණ සෞඛ්‍ය සේවක හිඟයක් ඇතිවනු ඇත. ඕස්ට්‍රේලියාවේ පමණක් 2035 වන විට හෙදියන් 70,000කට වැඩි හිඟයක් ඇතිවනු ඇති අතර, ජාත්‍යන්තරව පුහුණු වූ හෙද වෘත්තිකයින් මෙම හිඟය පුරවාගැනීමේ මූලික විසඳුම වනු ඇත.
හෙද සහ සෞඛ්‍ය විද්‍යා වැඩසටහන් සඳහා ගෝලීය ශ්‍රේණිගත කිරීමක් සහිත ඩීකින් විශ්ව විද්‍යාලය, මෙම හවුල්කාරිත්වයට අධ්‍යයන විශිෂ්ටත්වය සහ නවෝත්පාදනය එක් කරන අතර, JCI-අනුමැතිය ලත් ඩර්ඩන්ස් රෝහලේ අධ්‍යයන සහ සායනික පුහුණුව සමඟින් ඇම්රැක් එය තවදුරටත් ශක්තිමත් කරයි. ඇම්රැක්, තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) අනුමත ආයතනයක් වන අතර එහි උපාධිධාරීන් පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන කවුන්සිලය (PHSRC) යටතේ ලියාපදිංචි වීමට ද සුදුසුකම් ලබයි.
ඩීකින් විශ්වවිද්‍යාලයේ උපකුලපති ජෝන් මොලෝනි මහතා අදහස් දක්වමින් මෙලෙස පවසා සිටියේය. “ශ්‍රී ලාංකික සිසුන්ට මෙම මාවත නිර්මාණය කිරීම සඳහා ඇම්රැක් ආයතනය සමඟ කටයුතු කිරීමට ලැබීම සතුටට කරුණක්. මෙම වැඩසටහන මඟින් සිසුන්ට ඔවුන් සේවය කරන ප්‍රජාවන් සහ විවිධ සංස්කෘතීන් කෙරෙහි සැලකිල්ලක් දක්වමින් ඉහළ ජාත්‍යන්තර ප්‍රමිතීන් සපුරාලන සෞඛ්‍ය සේවා වෘත්තිකයන් වීමට අවශ්‍ය පුහුණුව අපි එක්ව ලබා දෙන්නෙමු.”
ඇම්රැක් ආයතනයේ විධායක අධ්‍යක්ෂ රංග විමලසූරිය මහතා මෙසේ පැවසීය: “මෙම හවුල්කාරිත්වය අපගේ සිසුන්ට ලැබුණු අනගි අවස්ථාවක්. එය ශ්‍රී ලංකාවේ හෙද අධ්‍යාපන ප්‍රමිතීන් ඉහළ නංවනවා පමණක් නොව, අපගේ උපාධිධාරීන්ට ලොව පුරා සෞඛ්‍ය සේවා සඳහා දායක වීමට දොරටු විවර කරයි.”
මෙම හවුල්කාරිත්වය ශ්‍රී ලාංකික සිසුන්ට ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා වෘත්තීන් වෙත යොමු වීමට අවශ්‍ය පැහැදිලි, ව්‍යුහගත සහ වේගවත් ප්‍රවේශය ලබාදෙන අතර, එමඟින් දක්ෂ හෙදියන් සඳහා වන ගෝලීය අවශ්‍යතාවය ද සපුරාලයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments