අපේ රටේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට එල්ල වී ඇති තවත් බරපතල, භයානක තර්ජනයක් ලෙස අධිකරණයට එල්ල වී ඇති තර්ජනය පෙන්වා දිය හැකි බවත්, වත්මන් ජනාධිපතිවරයා විසින් ආරම්භ කරන ලද ක්‍රියාදාමයක් හේතුවෙන් මෙම බරපතල තර්ජනය එල්ල වී ඇති හෙයින් එහි කතෘකාරකයා ජනාධිපතිවරයා බවත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට මේ රටේ ජනතාව ලබාදී තිබෙන්නේ විධායක බලතල පමණක් වුවත්, පසුගියදා මියන්මාරයේ සිදුවුණ හමුදා කුමන්ත්‍රණයෙන් එරට හමුදා නායකයා අධිකරණයේ බලතල, ව්‍යවස්ථාදායක බලතල හා විධායකයේ බලතල යන තුනම අවුරුද්දකට ලබාගෙන ඒකාධිපති පාලනයක් පිහිටවූවා වගේ, ජනාධිපතිවරයා උත්සාහ කරන්නේද ඒකාධිපති පාලනයකට පිවිසීමට බව පෙන්වා දෙන පරණවිතාන මහතා, එයට හොඳම උදාහරණය ලෙස ජනාධිපතිවරයා විසින් පත්කර ඇති විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව පෙන්වා දිය හැකි බවද අවධාරණය කර සිටී.
කරුණාරත්න පරණවිතාන මහතා මෙම අදහස් පළකර සිටියේ, පසුගිය සිකුරාදා (05) නීති ප්‍රතිසංස්කරණ ජාතික ව්‍යාපාරය විසින් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා ශ්‍රවණාගාරයේ සංවිධාන කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් පරණවිතාන මහතා සඳහන් කර සිටියේ,
කුප්‍රකට උපාලි අබේරත්න දේශපාලන පළිගැනීම් විමර්ශනය කිරීමේ කොමිෂන් සභා වාර්තාව පදනම් කරගෙන එම වාර්තාවේ කරුණු වග විභාග කිරීමට තවත් කොමිසමක් පත්කර ඇති බවත්, එමඟින් මේ රටේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමයට බරපතල තර්ජනයක් එල්ලකරමින් මේ සැරසෙන්නේ තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කිරීමට බවයි. එමෙන්ම මෙම වාර්තාව පදනම් කරගනිමින් මේ රටේ තෝරාගත් දේශපාලන නායකයින්, චම්පික රණවක මැතිතුමා, අනුර දිසානායක මැතිතුමා වැනි අය දඩයම් කිරීමට ඉලක්ක කර, ඒ අයගේ ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කළයුතු යැයි යන මතයේ සිට පත්කරනු ලැබූ මෙම කොමිසමේ වාර්තාව කිසිසේත් පිළිනොගන්නා බවත්, එය එක හෙළාම පිළිකුලෙන් හෙළා දකින බව ද පරණවිතාන මහතා සදහන් කර සිටී.
මෙහි ඇති නීතිමය පැත්ත, නීති විද්‍යාත්මක පැත්ත, දේශපාලන පැත්ත, මානව හිමිකම් පිළිබඳ පැත්ත, වගේම අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට මෙයින් සිදුවන දීර්ඝ කාලීන බරපතල හානිය පිළිබඳව නීති ප්‍රතිසංස්කරණ ජාතික ව්‍යාපාරය හැටියට රට දැනුවත් කරන බවත්, අයුක්ති සහගත කොමිෂන් සභා ප්‍රතික්ෂේප කිරීමට මේ රටේ යුක්තිය අගය කරන පුරවැසියන් නැගී සිටිය යුතු සේම, ඒ වෙනුවෙන් නීති ප්‍රතිසංස්කරණ ජාතික ව්‍යාපාරය දීප ව්‍යාප්ත නෛතික සහ දේශපාලන අරගලයක් ගෙනයෑමට කටයුතු කරන බවද කරුණාරත්න පරණවිතාන මහතා සඳහන් කර සිටියේය.
එහිදී අදහස් දැක්වූ නීතීඥ ක්‍රිෂ්මාල් වර්ණකුලසූරිය මහතා,
මේ රටේ සමාජ දේශපාලන ක්‍රියාකාරකම් වලට පුද්ගලිකව මගේ සම්බන්ධය ගොඩක් වෙලාවට වෙන්නෙ අහම්බෙන්. ඒ බොහෝ විට නීතියේ ආධිපත්‍ය පිළිබඳ කරුණු කාරණාවලදී. කොමිෂන් සභා පනතකින් උද්ගත වන වාර්තාවකට විශේෂ ජනාධිපති කොමිසමක් තවත් පනතක් යටතේ පනවන්න පුලුවන්ද කියන නීතිමය ප්‍රශ්නය මේ අවස්ථාවේ අපි අභිමුව තිබෙනවා. ඒ සම්බන්ධව අපේ ක්‍රියාමාර්ග අප ඉදිරියේදී ඔබට දැනුම් දෙනවා. මේවන විට ව්‍යංගයෙන්, වෙනත් ක්‍රම මඟින් ජනතාවගේ ඇස් ඉස්සරහ අධිකරණයේ ස්වාධීනත්වයටත් පහර එල්ල කිරීමේ සූදානමක් තිබෙනවා.
ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවට පත්කරන ලද ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ටත් අපට පේන මේ අවධානම පෙනෙයි කියල අපි විශ්වාස කරනවා. අපේ අධිකරණය ආරක්ෂා කරගන්න, අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරගන්න අපිත් සමඟ එතුමන්ලා එකතුවෙලා අධිකරණයට එන මේ ප්‍රහාරය වළක්වගනී කියල අපි හිතනවා.
අපි අපේ කාර්යයන් පටන් ගන්නේ ව්‍යවස්ථාව මත දිව්රුමක් දීල. අපි මෙම ව්‍යවස්ථාවේ අයිතීන් දිවි හිමියෙන් ආරක්ෂා කරනවා. මහජනයාට ලබාදී තිබෙන ව්‍යවස්ථාවේ අයිතීන් කවුරුහරි හොරෙන් ගන්න හෝ ප්‍රහාර එල්ල කරන්න හෝ අධිකරණයේ ස්වාධීනත්වයට අත තියන්න එනවා නම් අපි කලින් එයට බය වුණේ නැති සේම එවන් ප්‍රහාර වලට මුහුණ දීමට අපි ඉදිරියටත් බය වෙන්නෙ නෑ, නීතිඥ ප්‍රජාව හැමදාම මහජනයාගේ පැත්තේ ඉන්නවා.
අදහස් පළකළ නීතීඥ ශිරාල් ලක්තිලක මහතා,
උපාලි අබේරත්න කොමිෂන් සභා වාර්තාව පදනම් කරගෙන ගිය ආණ්ඩුවේ හිටපු අගමැති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයෙන් තෝරාගත් පුද්ගලයින් කිහිප දෙනෙකුගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම පිළිබඳව සොයා බලන්න කියල ජනාධිපතිවරයා කියනවා. විශේෂයෙන් දූෂණ විමර්ශන කමිටුවේ සාමාජිකයන් ලෙස හිටිය අය පිළිබඳව. රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති හැටියටත්, විශේෂයෙන්ම චම්පික රණවක මහතා, රාජිත සේනාරාත්න මහතා, සරත් ෆොන්සේකා මහතා සහ ලංකාවේ ප්‍රධාන පක්ෂ ගණනාවක නායකයින්. අනුර කුමාර දිසානායක මහතා, රාවුෆ් හකීම් මහතා, ආර්. සම්බන්ධන් මහතා, යන සියලු දෙනාගේ ප්‍රජා අයිතිය අහෝසිකිරීමේ හැකියාව සොයා බලන්න කියල තමයි ජනාධිපතිතුමා කියන්නෙ.
ඉතිං ජනාධිපතිතුමා කරන්න හදන්නේ මේ මොකක්ද ? මියන්මාරයේ වාගේ ආධිපත්‍යවාදී ආණ්ඩුවක් හදන්න. ජනාධිපතිවරණයට කලින් අපි මේ ගැන අනතුරු ඇඟෙව්වා මේ ජනාධිපතිවරයා ඒකාධිපතියෙක් වීමේ අනතුරක් තිබෙන බවට. ජනතාව ඒ ගැන තැකීමක් නොකොට ඔහුට සියලු බලතල ලබාදුන්නා. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට අත තියන්න ආපු ඕනෑම ලොක්කෙක් මෙච්චර කාලෙකට පශ්චාත් භාගය බිම ඇණගෙන තමයි නතර වුණේ. ඒ නිසා අපිට කියන්න තියෙන්නේ කරල බලන්න කියල විතරයි.
මෙම පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව ලංකාවේ පවතින නීතියට, නීතියේ රාමුවට, අධිකරණ සංවිධානයට බරපතල අභියෝගයක් එල්ල කරන ලද කොමිෂන් වාර්තාවක් හැටියට තමයි නීතිඥයෝ හැටියට අපි සලකන්නේ. පරීක්ෂණ කොමිෂන් සභා ඉතිහාසයේ මෙවැනි විකාරරූපී වාර්තාවන් කොහෙත්ම අපි දැකල නෑ,
ජනාධිපතිතුමාට අපි කියන්නේ කරුණාකරල ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න. නීති හිතුමතේ භාවිත කරන්න එපා. මේ රටේ ජනතාව ඔබතුමන්ට බහුතරයක් ලබාදීල තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයවත්, නීතියවත් හිතුමතේ අවශ්‍ය ආකාරයට වෙනස් කරන්න නෙමෙයි කියන එක මතක තියාගන්න.
අදහස් පළකළ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ විධායක සභික ආනන්ද ලැනරෝල් මහතා,
උපාලි අබේරත්න කමිටුව ලබාදීපූ නිර්දේශ පිළිබඳව බලද්දි මං නං කියනේනේ මේ දැන් ලබාදෙන තීන්දු කැකිල්ලේ රජුගේ නීතිවලට සමාන කිරීමත් ලැජ්ජාවක්. රජය අවංක නම්, රජය පිරිසිදු නම්, විමර්ශනයට පත්කරන්න ඕන තරං ලංකාවේ නඩුකාරයො ඉන්නවා. තමන්ගේ නම කැත කරගත්තේ නැති බොහොම වැදගත් ලෙස නඩු අහපු විශ්‍රාම ගියපු අය ඉන්නව. එහෙම ඉදිද්දි මේකට පත්කළේ උපාලි අබේරත්න. වික්ටර් අයිවන් මහත්තය පොතක් ලියල තියෙනවා, ඒ පොත කියෙව්වොත් උපාලි අබේරත්නට නඩුකාරය කියන එක ලැජ්ජයි. එහෙම චරිතයක්.
මේ වාර්තාවෙන් කියනව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටත් දඬුවම් කරන්න කියල. තුට්ටු දෙකේ රටකවත් මේ වගේ තක්කඩි තීන්දු දෙන්නෙ නෑ. මෙයාල මේ නැවතත් ලංකාව වනචාරී යුගයකට ගෙනයන්නෙ. අවස්ථාවාදී වෙලා, තක්කඩි වෙලා මේ වගේ ජඩ වැඩවලට සහය දෙන්න එපා කියල මම පැහැදිළිවම රටේ ජනතාවගෙන් ඉල්ලනවා.
ශිරාණි බණ්ඩාරනායක නඩුවෙදි අපි දැක්ක උසාවිවල නඩුකාරයො පාරට බැහැල ඒ අකටයුත්තට විරුද්ධව පෙලපාලි ගියා. ඒ නිසා නීතීඥ ප්‍රජාවෙන්, නීතිපති දෙපාර්තමේන්තුවෙන්, අධිකරණ නඩුකාර උන්නාසේලාගෙන් ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේ ඇස් ඇරල කටයුතු කරන්න කියල.
මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, නීතීඥ ශිරාල් ලක්තිලක, නීතීඥ ක්‍රිෂ්මාල් වර්ණකුලසූරිය, නීතීඥ රසාංග හරිස්චන්ද්‍ර, හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ, නීතීඥ රජික කොඩිතුවක්කු, සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ විධායක සභික ආනන්ද ලැනරෝල් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.