23.3 C
Sri Lanka
Friday, October 17, 2025
Homeදේශීය පුවත්ආරෝග්‍යා ජංගම සුවසායනය පාලින්ද නුවරදී

ආරෝග්‍යා ජංගම සුවසායනය පාලින්ද නුවරදී

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද ආරෝග්‍යා ජංගම සුවසායනය පාලින්ද නුවර කෙලින්කන්ද කොස්ගුලන කනිෂ්ට විද්‍යාලයේ දී ඊයේ (30) දවස පුරා පවත්වන ලදී.

එහිදී අක්ෂි සායනය, සුවනාරි සායනය, දන්ත සායනය, ආයුර්වේද සායනය, දියවැඩියා සායනය, රුධිර පීඩන පරීක්ෂාව, ECG පරීක්ෂාව, කොලෙස්ට්‍රෝල් පරීක්ෂාව, අක්ෂි සායනය ඇතුළු වෛද්‍ය සායන රැසක් පැවැත්වූහ. ප්‍රදේශයේ ජනතාව දහසකට අධික ප්‍රමාණයක් මෙහි දී සේවා ලබාගත් අතර ඇස් කණ්නාඩි අවශ්‍ය පුද්ගලයන් සඳහා නොමිලේ ඇස් කණ්නාඩි ලබා දෙන ලදී. සියලුම රෝග පරීක්ෂා කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර අවශ්‍ය පුද්ගලයන් සඳහා නොමිලේ බෙහෙත් ලබාදීම මෙන්ම වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය පුද්ගලයන් අදාල රෝහල් සායන වෙත යොමු කරන ලදී.

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ නිහාල් අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භක උත්සවය පැවති අතර ඒ සඳහා කළුතර පාර්ලිමේන්තු මන්ත්‍රී ධනුෂ්ක රංගනාත් මහතා, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ගිහාන් ද සිල්වා ඇතුලු සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගී වූහ. නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීම සවී ලෑන්ඩ්ස් පුද්ගලික සමාගමේ පූර්ණ අනුග්‍රහයෙන් පැවති අතර එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඕන්ඩ්‍රි පෙරේරා මහතාද මෙම උත්සවයට සහභාගී විය.

මෙම උත්සව අවස්ථාවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධනුෂ්ක රංගනාත් මහතා පැවසුවේ, දෛනික ජීවිතය පසුපස යමින් සිටින, තම සෞඛ්‍ය පිළිබඳ විශේෂ තැකීමක් නොකරන දිස්ත්‍රික්කයේ කෙලවරක පිහිටි කෙලින්කන්ද කොස්ගුලන ප්‍රදේශයේ ජනතාවට මෙය මහගු අවස්ථාවක් බවයි.

එසේම වත්මන් රජයේ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්තිය අනුව යමින් පොහොසත් මිනිසකු නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළේදී සෞඛ්‍ය සම්පන්න ජනතාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් වත්මන් රජය වැඩි වෙහෙසක් දරමින් සිටින බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. ආරෝග්‍යා ජංගම සුව සායනය එම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට මහගු අවස්ථාවක් බවත් එය කළුතර කෙලින්කන්ද ප්‍රදේශයට රැගෙන ඒමට හැකිවීම පිළිබඳ සතුටු වන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලක්ෂ්මේන්ද්‍ර තෙන්නකෝන් මහතා සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ගිහාන් ද සිල්වා මහතා ද අදහස් දැක්වීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments