20.3 C
Sri Lanka
Wednesday, December 3, 2025
Homeදේශීය පුවත්ලොව හොඳම මැතිවරණ කොමිසමට හිමි සම්මානය ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම දිනාගැනීම  ප්‍රජාත්‍රන්ත්‍රවාදයේ...

ලොව හොඳම මැතිවරණ කොමිසමට හිමි සම්මානය ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම දිනාගැනීම  ප්‍රජාත්‍රන්ත්‍රවාදයේ ජයග්‍රහණයක්

බොට්ස්වානා ස්වාධීන මැතිවරණ කොමිසම සහ පාර්ලිමේන්තු අධ්‍යයනය සඳහා ජාත්‍යත්තර මධ්‍යස්ථානයේ සම සත්කාරකත්වයෙන් ලෝකයේ මැතිවරණ කොමිෂන් සභා ක්‍රියාත්මක වන රටවල් අතර පැවැති සම්මාන ප්‍රධානෝත්සවයේ දී වඩා දියුණු ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන් ක්‍රියාත්මක වන රටවල් අභිබවමින් ලොව හොඳම  මැතිවරණ කොමිසම ලෙස තේරී පත්වන්නට ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමට හැකියාව ලැබීම රටක් ලෙස අප ලබාගත්  විජයග්‍රහණයක්  බව අපගේ විශ්වාසයයි. විශේෂයෙන්ම මැතිවරණ කොමිසම සමඟ ඉතා සමීපව කටයුතු කරනු ලබන පාර්ශවරුවෙක් ලෙස මෙකී සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව පැෆ්රල් සංවිධානයේ සුභපැතුම් පිරිනැමීමට මේ මොහොත අවස්ථාවක් කර ගනිමි.

ලොව සියලු රටවල මැතිවරණ කොමිෂන් සභා සහ මැතිවරණ ක්‍රියාවලිය  අධ්‍යයනය  කර සම්මාන සඳහා සුදුස්සන් තෝරාගෙන ඇති අතර  විශේෂයෙන්ම යහපත් පුරවැසියන්ගෙන් සමන්විත ප්‍රජාවක් නිර්මාණය කිරීමට ගන්නා ලද සුවිසල් උත්සාහය වෙනුවෙන් මෙම සම්මානය හිමිවීම විශේෂත්වයකි.

මැතිවරණ දෙපාර්තමේන්තුව මැතිවරණ කොමිෂන් සභාව ලෙස නිර්මාණය වීමෙන් පසු එහි පළමු සභාපති ධුරය හෙබවූ මහින්ද දේශප්‍රිය මහතා  මැතිවරණ කොමිසම ජනතාව අතරට ගෙන යන්නට මූලික අඩිතාලම දැමූ පුද්ගලයා ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ. විශේෂයෙන්ම සිය මැතිවරණ නිලධාරීන්, සිවිල් සංවිධාන සහ ජනමාධ්‍ය වලද සහයෝගය ලබා ගනිමින් සුදුසුකම්ලත් සියල්ලන් ඇතුළත් ජන්දහිමි නාමලේඛනයක්  වෙනුවෙන් ඔහු ගෙනගිය වැඩ පිළිවෙල ජනතා ආකර්ශනය දිනා ගන්නට සමත් වු බව නොරහසකි.

ඉන්පසු මැතිවරණ කොමිසමේ සභාපති ධුරයට පත් නිමල් පුංචිහේවා  මහතාද එකී ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට සමත් විය. ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් වර්තමාන මැතිවරණ කොමිසම, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඇතුළු අනෙකුත් නිලධාරින්ගේද සහයෝගය සහිතව නවමු අත්හදාබැලීම් රැසක් සිදු කරමින් මැතිවරණ කොමිෂන් සභා ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කිරීම සුවිශේෂී තත්ත්වයකි. ඒ අනුව පුරවැසියන්ට තාක්ෂණය භාවිතා කරමින් මැතිවරණ කොමිසමේ සේවාවන් වඩා පහසුවෙන් ලබාගත හැකි වන පරිදි පියවරයන් රැසක් ගන්නා ලද කාලසීමාවක් ලෙස පසුගිය කාලසීමාව හඳුන්වා දිය හැකිය. මෙකී කාලසීමාව තුළ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ අනෙකුත් සිවිල් සංවිධාන සමඟින් මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් මහජන මිත්‍රශිලි මැතිවරණ කොමිසමක් නිර්මාණය කිරීම වෙනුවෙන් ගන්නා ලද උත්සාහය පිළිබඳව සියලු පුරවැසියන්ගේ ප්‍රශංසාව හිමිවිය යුතුය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments