20.3 C
Sri Lanka
Wednesday, December 3, 2025
HomeTOPමාලිමා ආණ්ඩුවේ පළමු කැබිනට් සංශෝධනය අද සිදුකෙරිණි...

මාලිමා ආණ්ඩුවේ පළමු කැබිනට් සංශෝධනය අද සිදුකෙරිණි…

ජනාධිපති කාර්යාලයේ දී අද (10) උදෑසන පැවති කැබිනට් සංශෝධනයට අනුව නව අමාත්‍යවරු තිදෙනෙකු හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 10 දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුව අමාත්‍යවරු දෙදෙනෙකුගේ හා නියෝජ්‍ය අමාත්‍යවරු කිහිපදෙනෙකුගේ විෂය වෙනස් වී ඇත.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ලෙස කටයුතු කළ බිමල් රත්නායක මහතාගෙන් වරාය හා සිවිල් ගුවන්සේවා ඉවත් කර ඇති අතර, ඒ වෙනුවට නාගරික සංවර්ධන අමාත්‍යාංශය එක්ව තිබේ.

ඒ අනුව බිමල් රත්නායක මහතා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස අද දිවුරුම් දුන්නේය.

බිමල් රත්නායක මහතාගෙන් ඉවත්කළ වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය අනුර කරුණාතිලක මහතාට ලබා දී ඇත.

මීට පෙර නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ලෙස කටයුතු කළ ඒ මහතා වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය ලෙස අද දිවුරුම් දුන්නේය.

එමෙන්ම අනුර කරුණාතිලක මහතාගෙන් ඉවත්කළ ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ධුරය, නියෝජ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කළ වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහ මහතාට ලබා දී ඇත.

ඒ අනුව ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටි සුසිල් රණසිංහ මහතා නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය ලෙස අද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

මීට පෙර කිසිදු අමාත්‍ය ධුරයක් නොදැරූ ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, දිනිඳු සමන් කුමාර, නිශාන්ත ජයවීර සහ එම්. එම්. අයි. අර්කම් යන අය නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දී තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments