21.6 C
Sri Lanka
Wednesday, June 25, 2025
Homeදේශීය පුවත්මේඩ් ඉන් ශ්‍රී ලංකා (Made in Sri Lanka) වෙළඳ ප්‍රදර්ශනය අග්‍රාමාත්‍යතුමා අතින්...

මේඩ් ඉන් ශ්‍රී ලංකා (Made in Sri Lanka) වෙළඳ ප්‍රදර්ශනය අග්‍රාමාත්‍යතුමා අතින් විවෘත වෙයි

මේඩ් ඉන් ශ්‍රී ලංකා (Made in Sri Lanka) වෙළඳ ප්‍රදර්ශනය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද 2021.02.13 දින පෙරවරුවේ විවෘත විය.

මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට රට තුළ මෙන්ම විදේශීයව තම වෙළඳපොල අරමුණු ජය ගැනීමට හැකියාව විවර කිරීමේ අරමුණින් ඇරඹි මේඩ් ඉන් ශ්‍රී ලංකා (Made in Sri Lanka) සංකල්පය අනුව කොළඹ 07 පදනම් මාවතේ දී මෙම වෙළඳ ප්‍රදර්ශනය පැවත් වේ.

කර්මාන්ත අමාත්‍යංශය යටතේ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය මෙම වෙළඳ ප්‍රදර්ශනය සංවිධානය කරයි. කොළඹ 07 පදනම් මාවත කේන්ද්‍ර කරගනිමින් අද සහ හෙට (14) දිනයේ පෙරවරු 10 සිට රාත්‍රි 08 දක්වා පාරිභෝගික ජනතාව වෙනුවෙන් මෙම වෙළඳ ප්‍රදර්ශනය විවෘතව පවතියි.

මෙහි ප්‍රදර්ශන කුටි අග්‍රාමාත්‍යතුමාගේ නිරීක්ෂණයට ලක් විය.

ජතික මට්ටමේ වෙළඳ ප්‍රදර්ශනයක් ඔස්සේ මෙරට ව්‍යවසායකයන් සවිබල ගැන්වීමේ ජාතික ක්‍රියාවලියකට මුලපිරීම සතුටට කරුණක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහි දී පැවැසීය.

මේඩ් ඉන් ශ්‍රී ලංකා (Made in Sri Lanka) සංකල්පය ඔස්සේ වරලත් අලෙවිසැල් ස්ථාපිත කිරීම, ඊ -වාණිජ වෙළඳ ද්වාරය පිහිටුවීම සහ රට පුරා වෙළඳ ප්‍රදර්ශන පැවත්වීමට සැළසුම් කර තිබේ.

අද දින අග්‍රාමාත්‍යතුමා අතින් විවෘත වූයේ මේ වසරේ ක්‍රියාත්මකවන පළමු ජාතික වෙළඳපොල අත්දැකීමයි. මෙමගින් ආහාර, අත්කම්, රෙදිපිළි හා පාවහන්, ආයුර්වේද නිෂ්පාදන හා විලවුන්, කෘෂි හා සෙසු විශේෂ ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය වන පරිදි පාරිභෝගිකයන්ට හා සේවා දායකයන්ට පුළුල් වෙළඳ පොල ප්‍රවේශයක් හිමි වේ.

මෙහිදී අදහස් පළකළ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙසේ ද පැවැසීය.

ගරු අග්‍රාමාත්‍යතුමිනි ඔබතුමන් 2005 මේ රටේ ජනාධිපතිධූරයට පත්වීමත් සමඟ ලංකාවේ සමාජ ආර්ථික දේශපාලන චින්තනයේ විශාල පෙරලියකට මුල පිරුවා. කළ නොහැක්කක් නොමැත කියන ධෛර්ය සම්පන්න හැඟීම මුළු මහත් ජාතියටම එන්නත් කළා. පරාජයට පත් කරන්න බැහැ කියපු ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජයට පත් කරලා පෙන්නුවා. ඒ වගේම දේශීයත්වයට මුල් තැන දෙමින් අපේ රටේ ජාතික ආර්ථිකය ජාතිකත්වය සමඟ මුහු කොට ගොඩනැංවීමට හැකියි කියන බලවත් විශ්වාසය 2005-2015 මුල දක්වා කාල පරිච්ඡේදය තුළ ඔබතුමා ගොඩනංවලා පෙන්වුවා. හම්බන්තොට වරාය ජාතියට නිර්මාණය කළා ඒ වගේම කොළඹ නගරය ආශ්‍රිතව වරාය නගරයක් නිර්මාණය කළා.විදුලි බලාගාර නිර්මාණය කරමින් ජාතික විදුලි අවශ්‍යතාව සියයට 90කට වඩා ලබා දෙන්න කටයුතු කළා. ආර්ථික වර්ධන වේගය සියයට 6කට අධික මට්ටමෙන් පවත්වා ගත්තා. ඒ දශකය මේ රටේ ඉතිහාස කතාවේ ඉතා මනරම් පරිච්ඡේදයක්. ඒ පදනම මත ඉඳගෙන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් යුක්ත අපේ වර්තමාන ආණ්ඩුව මහින්ද චින්තනයේ මූලික පදනම වෙච්ච ඒ දේශීයත්වයට වැඩි විශ්වාසයක් බලගන්වමින් මේඩ් ඉන් ශ්‍රී ලංකා (Made in Sri Lanka) සංකල්පය බලගන්වන්න ආත්ම විශ්වාසය ඇති කළා. මේ රටේ නිෂ්පාදනය කළ දෙයක් ආඩම්භරයට හා ගෞරවයට කාරණයක් කරන්න එමගින් හැකිවී ඇතැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කළේය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා, ශ්‍රී ලංකාවේ ජපාන සහ ප්‍රංශ තානාපතිවරුන්, අමාත්‍යංශ නිලධාරින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ පාරිභොගික ජනතාව එක්ව සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments