නව ක්‍රමය සුදුසුකම් ඇති අයට පමණයි…විදෙස්ගත ශ්‍රමිකයින්ට ඡන්ද අයිතිය ලබාදීමටත් පියවර–
මාත්‍ය විජිත හේරත්
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ඊශ්‍රායල් රාජ්‍ය සමග ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රි ලාංකිකයින්ට ඊශ්‍රායලයේ රැකියා ලබාදීම සඳහා මීට පෙර සිටි ඇමතිවරු, නියෝජ්‍ය අමාත්‍යවරු හා පුද්ගලික ලේකම්වරුන් මැදිහත්වී මුදල් ලබාගැනීම සිදුකළ බවත්, නව රජය එම සංස්කෘතිය අවසන් කර වඩාත් විනිවිදභාවයකින් යුතුව සුදුස්සන්ට පමණක් රැකියා ලබාගැනීමට හැකි ක්‍රමවේදයක් ආරම්භ කළ බවත් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ආරම්භ කර වසර 40ක් පිරීම නිමිත්තෙන් විශේෂ සමරු කවරයක් එළි දැක්වීමේ අවස්ථාවට අද දින (10/27) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී එක්වෙමිනි.
එහිදී විශේෂ සමරු මුල් දින කවරය තැපැල්පති රුවන් සත්කුමාර මහතා විසින් අමාත්‍ය විජිත හේරත් මහතා වෙත පිළිගන්වන ලදී.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“පහුගිය කාලේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය පිළිබඳව ජනතාව තුළ තිබුණෙ හොඳ ප්‍රතිචාරයක් නෙවෙයි. රට යවන්න ලක්ෂ ගණන් සල්ලි ගන්නවා. වංචාකරුවන්ට හසුවෙනවා. විවිධ ආයතන මගින් මුදල් අරගෙන ලාංකිකයෝ අතරමං කරනවා. අපි පහුගිය වසරේ පියවර ගත්තේ කාර්යාංශය හරහා විදේශ ගතවීමේදී සිදුවන අක්‍රමිකතා නතර කරන්න. අපි සතුටු වෙනවා. අද වෙනකොට දේශපාලන අධිකාරිය විදේශ රැකියා ලබාදෙන්න මුදල් ගන්නවා කියන්නේ නෑ. නමුත් ඉතිහාසයේ එහෙම නෙවෙයි අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු, අමාත්‍යවරුන්ගේ පුද්ගලික ලේකම්වරුන් විදේශ රැකියා ලබාදෙන්න මුදල් අරන්, නාස්ති කරලා දැන් චෝදනා එල්ල වෙලා තියෙනවා. අද එවැනි කිසිම දෙයක් දේශපාලන අධිකාරියෙන් සිද්ධ වෙන්නේ නෑ. ඒ වගේම නිළධාරී මහත්ම මහත්මීනුත් කැපවීමෙන් අද රාජකාරි සිදුකරනවා. ඒ ගැන අපි ආඩම්බර වෙනවා.
ඒ වගේම කාර්යාංශය හරහා මේ දිනවල වැඩිවශයෙන් ඊශ්‍රායලයේ රැකියාවලට යවනවා. කාර්යාංශය එය හරියට ක්‍රියාත්මක කරන්නේ නෑ කියලා චෝදනාවක් එල්ල වෙනවා. ඇත්තටම එය වැරදි අවබෝධයක්. ඊශ්‍රායල් රැකියා ලබාදීමේදී අනුගමනය කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒක අපි නෙවෙයි ඊශ්‍රායල් රජය තමයි තීරණය කරන්නේ. ඊශ්‍රායල් රජය වෙනුවෙන් පීබා ආයතනය තමයි අදාළ තේරීම් කටයුතු සිදුකරන්නේ. මෑත කාලීනව ඊශ්‍රායල් රැකියා ලැබෙනවා. ඒ ඔස්සේ යම් තරගකාරීබවක් ඇතිවෙලා තියෙනවා. නමුත් දේශපාලන අධිකාරීය තමන්ගේ හිතවතුන් මේ ලැයිස්තුවලට ඇතුළත් කරන්න කිසිසේත්ම මැදිහත් වෙන්නේ නෑ. ඒ සංස්කෘතිය අපි වෙනස් කරලා තියෙනවා. මේ රැකියා ක්‍රමවේදය අපි විනිවිද කරලා තියෙනවා ඔබට මේ රැකියාවලට යන්න පුළුවන් වෙන්න.
යම් සිදුවීම් කිහිපයක් වාර්තා වුනා. ඒකට අපි නීතිමය ක්‍රියාමාර්ග ගත්තා. ඊයෙත් අපිට සිද්ධ වුණා විදේශ ගතකරන්න මුදල් අරගත්ත චෝදනා අනුව මේ ආයතනයේ හිටපු රියදුරෙක් අත්අඩංගුවට ගන්න. එවැනි තත්ත්වයන් හරහා මේ ආයතනය යථා තත්ත්වයට ගෙනත් පිරිසිදු ආයතනයක් කරන්න අපි කැපවෙලා ඉන්නවා. ඒ නිසා කිසිඳු ආකාරයක මුදල් ගෙවීමක් වෙනත් පාර්ශවයකට කරන්න එපා රට යන්න කියලා. විදේශ රැකියාවකට මුදල් ගෙවනවා නම් අදාල ආයතනය බැදිලා ඉන්නවා ඒ රැකියාවට අයකරන මුදල කාර්යාංශයට දැනුම් දෙන්න. ඒකට අපි ඩිජිටල් ක්‍රමවේදයක් හඳුන්වාදීලා තියෙනවා. ඒ නිසා කිසිම වෙලාවක බාහිර පුද්ගලයින්ට මුදල් දෙන්න එපා කියන පණිවිඩයත් මම මේ වෙලාවේ දෙනවා.
ඒ වගේම යම් යම් ඒජන්සි ආයතනවලින් සිදුවෙන අඩුපාඩු අපි හඳුනාගෙන තියෙනවා. විදේශ රැකියා දෙන්න කියලා සල්ලි අරන් තියෙනවා විශේෂයෙන්ම රුමේනියාව වගේ රටවල. ලක්ෂ 18/ 19ක් අරන් රැකියාව ලබාදීලාත් නෑ. අපි ඒ දේවල්වලට නීතිමය ක්‍රියාමාර්ග අරන් තියෙනවා. සමහර වෙලාවට කාර්යාංශ පනත බාධාවක් වෙලා තියෙනවා මේ නීතිමය ක්‍රියාමාර්ග ගන්න. ඒක ප්‍රමාණවත් නෑ. යාවත්කාලීන විය යුතුයි. ඒ නිසා අපි නව පනතක් සකස් කරමින් ඉන්නවා අපි බලාපොරොත්තු වෙනවා යථා කාලයේදී නව පනතක් හඳුන්වා දෙන්න.
ඒ වගේම විදෙස් ගත ශ්‍රි ලාංකිකයින්ගේ ඡන්ද අයිතිය අපි ගොඩක් කාලයක් බලන් හිටපු දෙයක්. ඒක ඔවුන්ගේ අයිතියක්. ඒක වහාම ලබාදිය යුතුයි. ඒ සඳහා දැනටමත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් විශේෂ කමිටුවක් පත්කරලා තියෙනවා. ඒ හරහා අපි බලාපොරොත්තු වෙනවා අවශ්‍ය නෛතික තත්වය ඇති කරන්න. පහුගිය දවස්වල එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යම් කණ්ඩායමකුත් ලංකාවට ආවා. මැතිවරණ ක්‍රමය පිළිබඳව සාකච්ඡා කලා. ඒ හරහා ලෝකයේ විසිරිලා ඉන්න ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබාදෙන්න අවශ්‍ය පියවර ගනිමින් ඉන්නවා.
ඒ වගේම විදෙස්ගත ශ්‍රි ලාංකිකයින්ට විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් ලබාදෙන්න අපි දැනටමත් මැදිහත්වීමක් කරනවා. දැනට ක්‍රියාත්මක වන ක්‍රමවේදය සාර්ථක ක්‍රමයක් නෙවෙයි. වැඩි මුදලක් විශ්‍රාම වැටුපක් විදිහට ගන්න පුළුවන් ක්‍රමයක් අපි ආරම්භ කරනවා. සමාජ සේවා දෙපාර්තමේන්තුවේ තියෙන අරමුදල් භාවිතා කරලා විදෙස් ගත ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදුන්වා අවශ්‍ය නෛතික ක්‍රමවේදයක් හඳුන්වා දෙන්න පියවර ගන්නවා.” යනුවෙන් ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට තැපැල්පති රුවන් සත්කුමාර, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්(සංවර්ධන) ආචාර්ය M.M.S.S.B. යාලේගම, අතිරේක ලේකම්(පාලන) ප්‍රසාද් පියසේන, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ, විදේශ රැකියා එජන්සි ආයතනයේ සභාපති ලාල් හෙට්ටිආරච්චි, කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි ප්‍රියන්ත සේනානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්වී සිටියහ.


