29.6 C
Sri Lanka
Tuesday, November 4, 2025
Homeදේශීය පුවත්සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක...

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක…

මෙහි දී රෝහලේ දැනට පවතින අඩුපාඩු සහ ප්‍රධාන ගැටළු පිළිබඳවත්, උපකරණ, ඖෂධ, මානව සම්පත්, පරිපාලන ආදී අනෙකුත් කරුණු මෙන් ම සංවර්ධන වැඩසටහන්, රසායනාගාර සේවා ගැටළු සහ පැමිණිලි ආදිය පිළිබඳවත් අමාත්‍යවරයා කරුණු සොයා බලමින් කාර්ය මණ්ඩල සමග දීර්ඝව සාකච්ඡා කරන ලදි.
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතා මෙහි දී කියා සිටියේ ජාතික රෝහල සම්බන්ධව දෛනිකව වාර්තා වන ගැටළු වලට අදාළ වන කරුණු සොයා බලා ඒ සඳහා හැකි කඩිනම් විසදුම් ලබාදීම අරමුණු කර‌ගෙන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් මත මෙම හදිසි නිරීක්ෂණය සහ සාකච්ඡාව පැවැත්වීමට කටයුතු කළ බවයි.
ඖෂධ සඳහා වෙනත් වසර වලට වඩා විශාල මුදලක් සහ හදිසි මිල දී ගැනීම් සඳහා ද පෙර වසර වලට වඩා වැඩි මුදලක් වෙන් කළ ද ඖෂධ හිඟ බවට දිගින් දිගටම වාර්තා වන බවත් මීට අමතර උපකරණ ආශ්‍රිත ගැටළු ද නිතර වාර්තා වන බවත් එම කරුණු පිළිබඳ මෙම සාකච්ඡාවේ දී වැඩි අවධානයක් යොමු කරමින් කරුණු සොයා බැලු බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසීය.
මෙහි දී විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය හෙද ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය සිය ගැටළු ඉදිරිපත් කළ අතර, නියෝජ්‍ය අමාත්‍යවරයා කඩිනම් විසදුම් ලබාදිය හැකි ගැටළු කිහිපයක් සඳහා විසදුම් ලබා දීමට ඒ මොහොතේම පියවර ගනු ලැබීය. අනෙකුත් කරුණු පිළිබඳව ද ඉතා ගැඹුරින් සොයා බැලු නියෝජ්‍ය අමාත්‍යවරයා එම ගැටළු හැකි ආකාරයෙන් අවම කරගනිමින් රෝගී ප්‍රතිකාර සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය උපදෙස් හා මඟ පෙන්වීම් ලබාදෙන ලදී.
ජාතික රෝහලේ කටයුතු පිළිබඳව අවධානය යොමු කරමින් රෝහලට පැමිණ එම ගැටළු වලට විසදුම් ලබාදීම සහ ඒ පිළිබඳව පෞද්ගලිකවම අවධානය යොමු කිරීම සම්බන්ධයෙන් රෝහල් කාර්ය මණ්ඩලය මෙහි දී සෞඛ්‍ය නියෝජ්‍ය අමාතවරයාට සිය ස්තූතිය පුද කරනු ලැබූහ.
මෙම අවස්ථාවට කොළඹ ජාතික රෝහලේ වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර, වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දේදුණූ ඩයස්, කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් ඇතුළු පරිපාලන නිලධාරීන්, විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු සියළු සෞඛ්‍ය වෘත්තීන් නියෝජනය කරමින් සාමාජිකයන් පිරිසක් ද එක්ව සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments