Home දේශීය පුවත් අතුරුතහනමක් ඉල්ලීම් ගාස්තු සහිතව සිවිල් අභියාචන මහාධිකරණයේ දී ඉවතට – පෙන්ටාරා මහල්...

අතුරුතහනමක් ඉල්ලීම් ගාස්තු සහිතව සිවිල් අභියාචන මහාධිකරණයේ දී ඉවතට – පෙන්ටාරා මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් අඛණ්ඩව

0
1

කොළඹ තුම්මුල්ල හන්දියේ ඉදිවන පෙන්ටාරා රෙසිඩන්සීස් (Pentara Residencies) මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘතියට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම් 2025 දෙසැම්බර් 11 දිනැති නියෝගය මගින් නිශ්ප්‍රභා කිරිමට බස්නාහිර පළාත් සිවිල් අභියාචන මහාධිකරණය කටයුතු කර තිබේ.

අතුරු නියෝග සදහා වන ඉල්ලීම් ගාස්තු සහිතව ප්‍රතික්ෂේප කරමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝග සදහා කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරිම හා අතුරු තහනම් නියෝගය සදහා වන ඉල්ලිම්වලදී දෙපාර්ශවය කරුණු දැක්වීම් සලකා බැලිමට කරන ලද තිරණය යුක්ති සහගත වන බව බස්නාහිර පළාත් සිවිල් අභියාචන මහාධිකරණය තීන්දු කරන ලදී.

ඉල්ලන ලද සහනයන් ලබාදීම ප්‍රතික්ෂේප කරමින් බස්නාහිර පළාත් සිවිල් අභියාචන මහාධිකරණය පෙත්සම්කාර පාර්ශවයන්ගේ මේ නඩු සැලසුම්සහගත ලෙස “ප්‍රමාදය සාධාරණත්වය පරාජය කරයි” යන සාධාරණාත්මක ප්‍රකාශය අදාල වීම වැලැක්වීමට තැත්කර ඇති බවද දක්වන ලදී. මෙහිදී වගඋත්තරකාර හෝම් ලෑන්ඩ්ස් සමාගම අදාල සියලු අනුමැතීන් නීත්‍යානුකූලව ලබා ගැනීමෙන් අනතුරුව සිය ව්‍යාපෘතියෙහි ගොඩනැගිලි වැඩ කටයුතු ආරම්භ කර මාස කිහිපයක කාලයක් ගත වී ඇති බව ද අධිකරණය සඳහන් කළේය.

අධික ශබ්දය, කම්පනය සහ දූවිල්ල හේතුවෙන් තමන් අපහසුතාවයට පත් වන බව සඳහන් කරමින් අවට පදිංචිකරුවන් පිරිසක් විසින් ඉදිකිරීම් කටයුතු වැලැක්වීමේ හෝම්ලැන්ඩ් සමාගමට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කොළඹ දිසා අධිකරණය වෙත පැමිණිලි ඉදිරිපත් කර තිබිණි. කෙසේ වෙතත් කොළඹ දිසා අධිකරණය විසින් එවන් වාරණ නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ශේප කරමින් සඳහන් කලේ අදාල ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කොට මාස කිහිපයක් තිබියදී වාරණ නියෝගයක් ලබාදීමට ඇති හදිසි අවශ්‍යතාවය පිළිබඳව අධිකරණය සෑහීමකට පත් නොවන බවයි.

නඩුව පවත්වාගෙන යාම හා අතුරු ඉන්ජන්ෂන් තහනම් නියෝගයක් ලබා දීම ප්‍රතික්ෂේප කරමින් සිවිල් අභියාචන මහාධිකරණය සඳහන් කළේ පැමිණිල්ල විසින් මතු කරන කරුණු අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO), මධ්‍යම පරිසර අධිකාරිය (CEA) සහ කාර්මික තාක්ෂණ ආයතනයේ විද්‍යුත් තාක්ෂණ විද්‍යාගාරය යන වෙනමම රාජ්‍ය ආයතන 3ක් මගින් ද පැමිණිලිකරුවන්ගේ පැමිණිලි කිරිම් පරීක්ෂාවට සහ විමර්ශනයට ලක් කර ඇති බවයි.

පෙන්ටාරා මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් භූමිය අවට පදිංචිකරුවන් වන ආචාර්ය රධීකා රන්මලී අබේවීර, දුලානි ප්‍රියන්තා, ගුණසේකර සිරිවර්ධන, සොහාන් මාරියෝ ඇන්තනී තිළිණ ප්‍රනාන්දු, වන්නි ආරච්චි අප්පුහාමිලාගේ චින්තක ජිනදාස විජේවික්‍රම, අඟුළුගහ ගමගේ ඉමේෂා අනුදිනී වික්‍රමපාල, වික්‍රමපාල චිත්‍රාංගනී, ලක්ෂ්මන් බාලසූරිය, ජැනීන් චම්පිකා දිල්රුක්ෂි බාලසූරිය සහ නිකමල් මිලින්ද වීරසූරිය යන පැමිණිලිකරුවන් විසින් කොළඹ දිසා අධිකරණයේ වෙන වෙනම නඩු 12ක් ගොනු කර තිබුණි.

පැමිණිලිකරුවන් විසින් සඳහන් කර තිබුණේ පෙන්ටාරා හි ඉදිකිරීම් කටයුතු සඳහා භූමිය කැණීම් කටයුතු සහ බර යන්ත්‍රෝපකරණ භාවිතයෙන් ඇතිවන අධික ශබ්දය, කම්පනය සහ දූවිල්ල හේතුවෙන් ඔවුන්ට සෞඛ්‍ය ගැටළු මතුව ඇති බැවින් ඔවුන්ගේ නිවෙස් තුළ නිදහසේ ජීවත් වීම කෙරෙහි බාධා මතුව ඇති බවයි. එම පදනම මත, ඉදිරි පියවර ගනු ලබන තෙක් තාවකාලික හදිසි සහනයක් ලෙස සලකා ඉදිකිරීම් කටයුතු වහාම නතර කරන ලෙස පැමිණිලිකරුවන් නියෝගය ඉල්ලා සිටින ලදි.

මුල් අවස්ථාවේදීම එවැනි නියෝගය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ කොළඹ දිසා අධිකරණය අනතුරුව අතුරු ඉන්ජන්ෂන් තහනම සදහා සලකා බැලිමේදී සිදුකරන ලෙස නියෝග කරන ලදී. ඉන් අනතුරුව ඉහත පදිංචිකරුවන් විසින් බස්නාහිර පළාත් සිවිල් අභියාචන මහාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කරන ලදි. බස්නාහිර පළාතේ සිවිල් මහාධිකරණය කොළඹ දිසා අධිකරණය විසින් ලබාදෙන ලද පැහැදිලි කිරිම පිළිගනිමින් කෙසේ වෙතත් කොළඹ දිසා අධිකරණයේ නියෝගය ප්‍රතික්ෂේප කිරීමට තරම් හේතුවක් නොමැති බව නිගමනය කළ සිවිල් අභියාචන මහාධිකරණය එම පෙත්සම් 12ම ඉවත දමමින් ඔවුන්ට අදාල නඩු ගාස්තු ගෙවීමට ද නියම කළේ ය.

හෝම් ලෑන්ඩ්ස් සමූහයේ විසින් කොළඹ තුම්මුල්ලේ ඉදි කරන කුළුණු දෙකකින් යුත් මහල් 40කින් සමන්විත මෙම නවතම පෙන්ටාරා මහල් නිවාස ව්‍යාපෘතිය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) පූර්ණ අනුමැතිය ලත් ව්‍යාපෘතියක් වන අතර, දේශීය තනි දේපළ වෙළඳාම් සමාගමක් විසින් සිදු කරන සුවිශාලතම ආයෝජනය සනිටුහන් කරමින් ඇමරිකානු ඩොලර් මිලියන 100ත් 110ත් අතර ආයෝජනයක් (ශ්‍රී ලංකා රුපියල් බිලියන 30ත් 35ත් අතර) සහිත ව්‍යාපෘතියක් වේ. හැටන් නැෂනල් බැංකුවේ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය භූමිය මිලදී ගැනීම සඳහා වන සුවිශාල මූල්‍ය පහසුකම සපයන ලදි. එමගින් හෝම් ලෑන්ඩ්ස් සමූහය රුපියල් බිලියන 4.5ක මුදලක් වැය කරමින් කොළඹ නගර මධ්‍යයේ තුම්මුල්ල හන්දියෙන් අක්කරයකට ආසන්න භූමියක් ව්‍යාපෘතිය වෙනුවෙන් මිල දී ගත් අතර එය ඉතිහාසයේ විශාලතම කොළඹ නගරයේ ඉඩම් ගනුදෙනුව බවට ද පත් විය.

නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) සංවර්ධන බලපත්‍රය ප්‍රධානයෙන් අනතුරුව පෙන්ටාරා මහල්  නිවාස සංකීර්ණය නිල වශයෙන් මෙම වසරේදි එළිදැක්වුණු අතර එහි ඉදිකිරීම් කටයුතු ද ඒ හා සමගාමීව ම ආරම්භ විය. මෙම සුවිසල් ව්‍යාපෘතිය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) අනුමැතිය, පරිසර කටයුතු පිළිබඳ සභාවේ (ECC) පාරිසරික අනුමැතිය ද ඇතුළුව අවශ්‍ය සියලුම පාරිසරික හා ආයතනික අනුමැතීන් හිමිකරගත් අතර සම්පුර්ණයෙන් අනුමත අනුකුලව හා සැලසුම්ගත ලෙස කොළඹ ඉදිවන සුවිශේෂී ද්විත්ව කුළුණු ආකෘතියෙන් යුත් මහල් හතළියකින් සමන්විත සුඛෝපභෝගිතම මහල් නිවාස ව්‍යාපෘතිය ඉදිවෙමින් ඇත.

ජනාධිපති නීතීඥ අලි සබ්‍රි, ජනාධිපති නීතීඥ කුෂාන් ද අල්විස්, ජනාධිපති නීතීඥ එරාජ් ද සිල්වා යන මහත්වරුන් ශානක කුරේ, රජීව් විජේසිංහ, නාමික් නෆාත්, ශමිත් ප්‍රනාන්දු, අකලංක උක්වත්ත, දමින්ද විජයරත්න සහ සංජන මාපටුන යන නීතිඥවරුන් සුදත් පෙරේරා ඇසෝසියේට්ස් නීතිඥ සමාගමේ මෙහෙයවීම යටතේ විත්තිකාර වගඋත්තරකරු වන හෝම් ලෑන්ඩ්ස් සමාගම වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටින ලදි. 

ජනාධිපති නීතීඥ කුවේර ද සොයිසා මහතා සහ නීතීඥවරුන් වන ඉෂාන් අලවතුරගේ සහ හර්ශුල යාපා යන මහත්වරුන් මෙහි දී පැමිණිලිකාර පෙත්සම්කරුවන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටින ලදි.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here