29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්15කට මරු කැඳවු පස්සර බස් අනතුරට හේතුව හෙලි වේ

15කට මරු කැඳවු පස්සර බස් අනතුරට හේතුව හෙලි වේ

මොණරාගල – බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් ප්‍රපාතයකට පෙරළීයාමෙන් සිදුවූ අනතුරට හේතුව අනාවරණ වී තිබෙනවා. පොලිසිය පැවසුවේ ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයකට මාර්ගයේ ඉඩ ලබාදීමට යාමේදී බස් රථයේ ඉදිරිපස රෝදය මාර්ගයෙන් ඉවතට ලිස්සා යෑම හේතුවෙන් බසය ප්‍රපාතයට පෙරළී ඇති බවයි. අනතුර සිදුවූ ස්ථානය ආසන්නයේ පස් කන්දක් මාර්ගයට කඩා වැටී තිබු අතර ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථය එය ආසන්නයට පැමිණෙනවාත් සමග ඊට ඉඩ ලබාදීමට ගිය බස් රථය ප්‍රපාතයකට පෙරලී තිබෙනවා. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ අද උදෑසන සිදුවූ බස් රථ අනතුරට හේතුව නොසැලකිලිමත් රිය ධාවනය බවයි.   අනතුර සිදුවූ ස්ථානය අසල ඇති භෞතික හා පරිවේෂණීය සාක්ෂි පරික්ෂා කිරීමේ දී රියදුරාට මෙම බස් රථය පාලනය කර ගැනීමට හැකියාවක් තිබී නොමැති බව පෙනී යන්නේ යැයි ඔහු කියා සිටියා. 

අද උදෑසන 07.15ට පමණ මෙලෙස අනතුරට ලක් වුයේ  ලුණුගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක්. අදාළ ප්‍රදේශයේදී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 200 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුර සිදුවුණා.

අනතුරට ලක්වු බස් රථයේ සිටි පිරිස බේරා ගැනීමට හා තුවාලකරුවන් සුන් බුන් අතරින් ඉවතට ගැනීම සඳහා පොලිසියට මෙන්ම ප්‍රදේශවාසීන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවයි
බේරා ගැනීමේ මෙහෙයුම් සිදු කරන අතරතුර ප්‍රපාතයේ ඉහල තිබූ ගලක් පෙරලීමෙන් මුදා ගැනීමේ මෙහෙයුමකට එක්ව සිටි පුද්ගලයෙකුද බරපතල තුවාල ලබා තිබෙනවා. 

පස්සර 13 කණුව ප්‍රදේශයේදී සිදුවූ මෙම අනතුරින් පුද්ගලයින් 15 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා. බස් රථයේ රියදුරුද ඒ අතරට අයත් බව ප්‍රකාශ වුවද රියදුරු අසුනේ සිරවී සිට ඇත්තේ රියදුරු නොවන බවයි මේ වන විට අනාවරණය වී ඇත්තේ. බස් රථයේ රියදුරු බරපතල තුවාල ලබා මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින බවයි පොලිසිය පැවසුවේ. 

අනතුරින් තවත් පුද්ගලයින් 31 දෙනෙකු තුවාල ලැබූ අතර ඔවුන් ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ පස්සර සහ බදුල්ල රෝහල්වලටයි. ඔවුන්ගෙන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ද රෝහල් ආරංචි මාර්ග උපුටා දක්වන නෙත් නිවුස් වාර්තාකරුවන් සඳහන් කළා. 

අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ මගීන් 50 දෙනෙකු පමණ ගමන් කරමින් සිට ඇති අතර අනතුරින් බස් රථයට දැඩි අලාභ හානි වුණා. අනතුර සම්බන්ධයෙන් පස්සර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

මේ අතර පස්සර – ලුනුගල මාර්ගයේ අද සිදුවූ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ  අවමංගල්‍ය වියදම් සදහා රුපියල් 55,000 බැගින් ලබා දීමට තීරණය කර තිබෙනවා. ඉන් රුපියල් 30,000 බැගින් ලබා දෙන්නේ ඌව ආණ්ඩුකාර කාර්යාලය හා ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියයි. මීට අමතරව රුපියල් 25,000 බැගින් අවමංගල්‍ය වියදම් ලෙස ලබාදීමට ජාතික ගමනා ගමන  කොමිෂම ද තීරණය කර තිබෙනවා.    

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments