21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්කොළඹ වරයා නගර ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමට අදාල පනත් කෙටුම්පතට ...

කොළඹ වරයා නගර ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමට අදාල පනත් කෙටුම්පතට එරෙහිව පර්ශව රැසක් අධිකරණයට යයි. නීතිඥ සංගමයෙනුත් නිවේදනයක්.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් පෙත්සම් කිහිපයක්ම ගොනුකර තිබෙන පෙත්සම විභාග කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් නම්කර තිබේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා එම විනිසුරු මඩුල්ලේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන බව ‘අද දෙරණ’ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා එම විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයින් ය.

එම පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අදාළ පෙත්සම ලබන 19 දා විභාගයට ගැනීමට නියමිතය.

තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ එකමුතුවේ සභාපති වන ඉංජිනේරු ජී. කපිල රේණුක පෙරේරා මහතා විසින් මෙම පෙත්සම මගින් සඳහන් කර ඇත්තේ අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්තිවලින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවය.

මේ හේතුවෙන් අදාළ වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් ඒවා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් සම්මතවිය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද (15) පස්වරුවේ වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පතට අදාළව මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය.

එම පනත් කෙටුම්පත අධ්‍යයනය කිරීම සඳහා නීතිඥ සංගමය විසින් කමිටුවක් පත්කර තිබූ අතර එම කමිටුවේ නිගමනය වී ඇත්තේ පනත් කෙටුම්පතෙහි වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව යනුවෙන් එම නිවේදනයේ දැක්වේ.

2021 මාර්තු මස 31 වනදා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් එම පනත් කෙටුම්පත අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපති නීතීඥ ඉක්‍රම් මොහොමඩ්ගේ සභාපතිත්වයෙන් යුත් විශේෂඥ කමිටුවක් පත්කළ බව නීතිඥ සංගමය පවසයි.

පනත් කෙටුම්පත ගැසට් කිරීමෙන් දින 15ක් වැනි කෙටි කලක් තුළ පනත් කෙටුම්පත අප්‍රේල් මස 08 වනදා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබූ අතර ශ්‍රේෂ්ඨාධිකරණය රැස්නොවන කාලසීමාවක එය න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම පිළිබඳව නීතිඥ සංගමය බලවත් සැලකිල්ලෙන් පසුවන බවද එම නිවේදනයේ දැක්වේ.

ව්‍යවස්ථාවට අනුව පුරවැසියෙක් පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරන්නේ නම් එය පනත් කෙටුම්පත න්‍යාය පත්‍රයට ඇතුළත් කළ දින සිට, දින 07ක් ඇතුළත සිදුකළ යුතු වුවද අප්‍රේල් 08 වනදා සිට දින 07ක කාලයට සති අන්තයක් මෙන්ම රජයේ නිවාඩු දින තුනක්ද ඇතුළත්ව ඇති බව නීතීඥ සංගම් නිවේදනයේ සඳහන් වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments