

වර්තමාන ලෝකයේ විවිධ ජනසමාජයන් සහ ආගම් අතර අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කිරීම සඳහා සංවාදය ප්‍රධානතම මාධ්‍ය ලෙස වැඩි වැඩියෙන් පිළිගනු ලබන අතර එය දිරිගන්වනු ලබයි. එවැනි සංවාද සාමකාමී සහජීවනය සඳහා පමණක් නොව, ජාතීන්ගේ සමස්ත සංවර්ධනය සඳහාද අත්‍යවශ්‍ය වේ. ඇත්ත වශයෙන්ම, අන්‍යෝන්‍ය අවබෝධය සහ ගෞරවය යනු සියලු ප්‍රධාන ආගමික නායකයන් විසින් අවධාරණය කරනු ලැබූ මූලික ඉගැන්වීම් වේ.
මෙම අදහස් බෞද්ධ–මුස්ලිම් සංවාදය නම් ග්‍රන්ථයේ දොරට වැඩීමේ උත්සවයේදී විශේෂයෙන් අවධාරණය කරන ලදී. මෙම උත්සවයේ සභාපතිත්වය දැරුවේ ශ්‍රීලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, ශ්‍රෙෂ්ඨ මහාචාර්ය ආචාර්ය පූජ්‍ය ගල්ලැල්ලේ සුමනසිරි ස්වාමීන් වහන්සේය.
මෙම උත්සවය 2026 මැයි 12 වන අඟහරුවාදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රන ශාලාවේදී (BMICH) පැවැත්විණි. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සහභාගී වූ අතර, විශේෂ ආරාධිත අමුත්තන් ලෙස ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගරු මුනීර් මුලෆ්ෆර් මහතා සහ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ මහලේකම් අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත් මහතා සහභාගී වූහ. එමෙන්ම දේශපාලන නායකයන්, ආගමික නායකයන්, විද්වත් පිරිස, මාධ්‍යවේදීන් සහ හිතවතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වීම විශේෂයෙන් සඳහන් කළ යුතුය.
මෙම ග්‍රන්ථය පිළිබඳ ප්‍රධාන විචාරය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යන අංශයේ ශ්‍රෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය සමන්ත ඉලංගකෝන් මහතා විසින් සාර්ථක ලෙස ඉදිරිපත් කරන ලදී.
මෙම ග්‍රන්ථය ආචාර්ය අසාද් සිරාස් මහතා සහ ත්‍රිපිටකාචාර්ය රමේෂ් මධුශංක මහතා විසින් සම-රචනා කර ඇත.
තන්වීර් ආයතනය මෙම වැදගත් උත්සවය සංවිධානය කිරීමෙන් පමණක් නොව, මුල් ඉංග්‍රීසි ග්‍රන්ථයේ සිංහල භාෂාවට පරිවර්තනය කර ශ්‍රීලංකාව පුරා සිටින සිංහල පාඨකයන්ගේ ප්‍රයෝජනය සඳහා ප්‍රකාශයට පත් කිරීමේ විශේෂ ගෞරවයද හිමිකර ගත්තේය.
ගම්පහ දිස්ත්‍රික්කයේ තිහාරිය නගරයේ පිහිටි තන්වීර් ආයතනය, ශ්‍රීලංකාවේ මුස්ලිම් සිසුන් සඳහා සිංහල භාෂාවෙන් ඉස්ලාමීය දේවධර්ම අධ්‍යාපනය ලබාදෙන පුරෝගාමී අධ්‍යාපන ආයතනයකි. ශාස්ත්‍රීය වැඩසටහන්වලට අමතරව, සියලු ජනකොටස්වල ජනතාව සහභාගී වන සංවාද, ප්‍රදර්ශන, සම්මන්ත්‍රණ, වැඩමුළු සහ අධ්‍යාපනික චාරිකා මගින් අන්තර්ආගමික අවබෝධය හා සමාජ සුහදතාවය ප්‍රවර්ධනය කිරීමේ කාර්යයටද මෙම ආයතනය සක්‍රීව දායක වේ.





