පැතිර යන කොවිඩ් ප්‍රභේදය පෙරට වඩා හානිකර බැවින් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම වැදගත් බවත්, එසේ නොවුණහොත් තත්ත්වය දරුණු විය හැකි බවත් සෞඛ්‍ය අංශ පවසති.
දිවයිනේ මේ දිනවල සීඝ්‍රයන් පැතිර යන කොවිඩ් වෛරසය බ්‍රිතාන්‍යයේ පසුගිය කාලයේ විනාශකාරී ලෙස පැතිර ගිය වෛරස් ප්‍රභේදය බවට තහවුරු කරගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා අද අනාවරණ කළේය.
කොළඹ, බොරලැස්ගමුව සහ කුරුණෑගල ප්‍රදේශවලින් ලබාගත් PCR සාම්පල පරීක්ෂාවෙන් පසු එය තහවුරු වූ බව ඔහු පැවසීය.
ශ්‍රී ලංකාවේ ඇති වූ පළමු රැල්ලේදී හඳුනාගත් B.142 ප්‍රභේදයට වඩා මිනුවන්ගොඩින් ආරම්භ වූ දෙවන රැල්ලේදී හඳුනාගත් ප්‍රභේදය ඩෙන්මාර්කයේ සහ ස්වීඩනයේ පැතිර ගිය ප්‍රභේදයට සමානවිය.
කෙසේවෙතත් පළමු රැල්ලටත්, දෙවන රැල්ලටත් වඩාත් බියකරු බවක් ගෙන එමින් නව ප්‍රභේදයක් මෙරට පුරා අප්‍රේල් මාසයේදී සීඝ්‍රයෙන් පැතිර ගියේය.
ඒ පිළිබඳ ව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය පරීක්ෂණ සිදුකරනු ලැබීය.
එහිදී අනාවරණය වූයේ කොළඹ, බොරලැස්ගමුව සහ කුරුණෑගල ප්‍රදේශවලින් ලබාගත් PCR සාම්පලවල ඇත්තේ බ්‍රිතාන්‍යයේ පැතිරයන B.1.1.7 කොවිඩ් ප්‍රභේදය බවය.
මෙලෙස අලුතින් හදුනාගැණුනු නව ප්‍රභේදයේ හා මීට පෙර පැවති ප්‍රභේදයේ රෝග ලක්ෂණ රැසක සමානකම් පවතී.
මීට පෙර පැවති ප්‍රභේදයේ රෝග ලක්ෂණ ලෙස උණ, වියළි කැස්ස, ශ්වසන අපහසුතා හඳුනා ගැණුනු අතර, කොවිඩ් නව ප්‍රභේදයේ අමතර රෝග ලක්ෂණ ලෙස ඇඟපත වේදනාව, හිසරදය, ගඳ සුවඳ නොදැනී යාම සිදුවන බව වෛද්‍යවරු පෙන්වා දෙති.
එමෙන්ම නව ප්‍රභේදය නිසා මරණ ඇතිවීම සාමාන්‍ය ප්‍රභේදයට වඩා 55% දක්වා ඉහළ ගොස් ඇති බවත්, නව ප්‍රභේදය පුද්ගලයින් අතර පැතිර යාම සාමාන්‍ය ප්‍රභේදයට වඩා 50% දක්වා ඉහළ ගොස් ඇති බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිදුකළ පරීක්ෂණවලින් හඳුනාගෙන තිබුණි.
මෙම නව ප්‍රභේදය තවදුරටත් පැතිර යාම වැළැක්වීම සඳහා ජනතා සහාය අත්‍යවශ්‍ය බව වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා අද දෙරණ ‘බිග් ෆෝකස්’ වැඩසටහන සමඟ එක් වූ අවස්ථාවේදී පෙන්වා දුනි.
“අපේ විද්‍යාගාරය තුළ එංගලන්ත ප්‍රභේදය ප්‍රථමයෙන් වාර්තා වුණේ අප්‍රේල් 8 වනදා. මේක ආවොත් අපි ඉවරයි කියන මට්ටමේ අදහසක් තමයි හැමෝගෙම තිබ්බේ. අපි ඒක ආපු වහාම වගකිවයුතු සෞඛ්‍ය අංශ සියල්ලම දැනුවත් කළා. ඒ 8 දෙනා ආශ්‍රිතව, දිනක් ඇතුළත පළමු පෙළ ආශ්‍රිතයින් දෙවන පෙළ ආශ්‍රිතයින් සියල්ලක්ම පරීක්ෂා කළා. ඒ නිසා මේ 8 දෙනා මගින් එළියට ගියා කියලා අපිට හිතන්න අමාරුයි. අපි දන්නේ නෑ කොතනින් ද ආවේ කියලා. අපේ මතයේ හැටියට දැනට ඉතා හොඳ තීරණ ටිකක් අරගෙන තියෙනවා.”