23 වෙනි යූකේ අසියානු සිනමා උළෙලට (UK Asian Film Festival) නිළ වශයෙන් සුදුසුකම් ලබා ගැනීමට (as official Selection) විහාරා සමරසිංහ නිෂ්පාදනය කළ හා ක්‍රිෂාන්ත මනම්පේරී අධ්‍යක්ෂණය කළ "හිතුමතේ ජීවිතේ" (The Wandering Life) චිත්‍රපටය සමත්ව ඇත. එහිදී ප්‍රධාන තරඟකාරී අංශය යටතේ සිනමා උළෙල නියෝජනය කිරීමට සුදුසුකම් ලැබ ඇති "හිතුමතේ ජීවිතේ" චිත්‍රපටය, එළෙඹෙන ජූනි මස 05 වෙනිදා රාත්‍රී 7.00 ට උළෙලේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතය. මැයි මස 26 වෙනිදා සිට ජූනි මස 06 වෙනිදා දක්වා එංගලන්තයේ ලන්ඩන් නුවරදී පැවැත්වීමට නියමිතයි. වර්තමානයේදී දකුණු ආසියානූ කලාපීය රටවල සිනමාපට වෙනුවෙන් ඉහළම ප්‍රමුඛත්වය ලබා දෙන "යූකේ ආසියානු සිනමා උළෙලේ" ආරම්භය 1999 වසරේදී සටහන්ව ඇත. කොවිඩ්-19 වසංගතයේ බලපෑම නිසාවෙන් හයිබ්‍රිඩ් ක්‍රමයට චිත්‍රපට ප්‍රදර්ශනය කරන මෙවර උළෙලේදී ඉන්දියාව, පකිස්ථානය, නේපාලය, ශ්‍රී ලංකාව සහ උළෙල පැවැත්වෙන එක්සත් රාජධානිය ආදී රටවල් නියෝජනය කරමින් 40 කට ආසන්න චිත්‍රපටය සංඛ්‍යාවක් තිරගත වීමට නියමිතය. දශක දෙකකට වැඩි ඉතිහාසයකට හිමිකම් කියන යූකේ ආසියානු සිනමා උළෙල නියෝජනය කිරීමට මීට පෙර ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපට 07 ක් සමත්ව ඇති අතර, "හිතුමතේ ජීවිතේ" එහි 08 වැන්න වේ. ඒ අනුව 2001 දී සරෝජා (සෝමරත්න දිසානායක), 2003 දී තනි තටුවෙන් පියාඹන්න (අසෝක හඳගම), 2004 දී සුළං කිරිල්ලී (ඉනෝකා සත්‍යාංගනී), 2010 දී ආකාස කුසුම් ( ප්‍රසන්න විතානගේ), 2016 දී සුළඟ අප රැගෙන යාවී (නුවන් ජයතිලක), 2018 දී අලෝකෝ උදපාදි (චත්‍ර වීරමන්) සහ 2019 දී හවුස් ඔෆ් මයි ෆාදර්ස් (සුබා සිවකුමාරන්) යන සිනමාපට ශ්‍රී ලාංකේය නාමය යටතේ උළෙලේ තිරගත වී ඇත. දිනෙත් ද සිල්වා, මහේන්ද්‍ර පෙරේරා, ප්‍රියංකර රත්නායක, ජයනි සේනානායක, කුමාර තිරිමාදුර, ,මාරියන් වෙත්තසිංහ, දමිතා අබේරත්න, ගිහාන් ප්‍රනාන්දු, ජගත් චමිල, පාලිත සිල්වා,සරත් චන්ද්‍රසිරි, අනුරුද්ධිකා පාදුක්කගේ, හර්ෂිකා රත්නායක යන අයගේ රංගනයෙන් හැඩවෙන 'හිතුමතේ ජීවිතේ' චිත්‍රපටය නියෝජනය කිරීමට සුදුසුකම් ලද දෙවෙනි අන්තර්ජාතික සිනමා උළෙල මෙය වේ. මීට පෙර මේ වසරේ ජනවාරි මස බංගලාදේශයේ පැවැති 19 වෙනි ඩකා අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනය කිරීමටද "හිතුමතේ ජිවිතේ" සමත් විය. උදිත ලක්මාල් කහඳවආරච්චි