රටපුරා ව්‍යාප්ත වී ඇති කොවිඩ් වසංගතයෙන් සහ ගංවතුර උවදුරෙන් පීඩාවට පත්වූවන්ට සහන ලබාදීම සඳහා රුපියල් ලක්ෂ හතකට අධික වටිනාකමකින් යුතු වියලි සලාක ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහකොමසාරිස් මේජර් ජෙනරල් මුහම්මද් සාද් ඛට්ටක් (විශ්‍රාමික) (Major General Muhammad Saad Khattak) හා නියෝජ්‍ය මහකොමසාරිස් තන්වීර් අහමඩ් (Tanvir Ahmad) යන මහත්වරුන් විසින් කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මැතිතුමා වෙත භාරදීම හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී (21) සිදුවිය.
පාකිස්තානු මහකොමසාරිස්, නියෝජ්‍ය මහකොමසාරිස් හා අමාත්‍යවරයා අතර පසුගිය දා පැවතී සාකච්ඡාවේ දී අමාත්‍යවරයා විසින් කල ඉල්ලීමකට අනුව එහි පලමු අදියර ලෙස මෙම වියලි සලාක පරිත්‍යාග කර ඇත.
මෙහිදී වියලි සලාක ලබාදීම පිළිබඳව සිය කෘතවේදීත්වය පාකිස්තානු මහකොමසාරිස් හා නියෝජ්‍ය මහකොමසාරිස් වෙත පලකළ අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ පකිස්තානු රජය සමඟ සුහදත්වය ඉදිරියටත් ශක්තිමත් කරගනිමින් කොවිඩ් අර්බුදයෙන් පීඩාවටපත් මෙරට ජනතාවට සහන සැලසීමට ඉදිරියේදී ද බලාපොරොත්තු වන අතර පාසල් දරුවන්ගේ ක්‍රීඩා කෞෂල්‍යය ඔප් නැංවීමට සහ මෙරට දරුවන්ට පාකිස්තානයේ උසස් අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය ශිෂ්‍යත්ව ලබා ගැනීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට තමන් බලාපොරොත්තු වන බව ඒ මහතා තවදුරටත් අවධාරණය කළේය.
මෙම අවස්ථාවට කොළඹ 02 හුනුපිටිය ගංගාරාම විහාරාධිකාරි පුජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි නායක ස්වාමීන් වහන්සේ, ආචාර්ය අසේල වික්‍රමසිංහ මහතා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.