අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර ඓතිහාසික හමුව ඊයේ (16) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වුණි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, න්‍යෂ්ටික අවි පාලනය හා දෙරට අතර නැවතත් තානාපති සම්බන්ධතා තහවුරු කරගැනීම සම්බන්ධයෙන් මෙහිදී දෙපාර්ශ්වයම එකඟතාවකට පැමිණ ඇති බවය.
2020 අමෙරිකානු ජනාධිපතිවරණයට රුසියාව මැදිහත් වූ බව කියමින් පසුගිය මාර්තු මාසයේදී දෙරට අතර මත ගැටුමක් හටගත් අතර එය මුල් කරගෙන දෙරටේ තානාපතිවරු පිටවුහල් කිරීමටත් දෙරටම පියවර ගෙන තිබුණි.
ජෝ බයිඩන් අමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවූ පළමු අවස්ථාව මෙයවෙයි.
බයිඩන්ගේ දින 8ක පළමු විදෙස් සංචාරයට සමගාමීව මෙම හමුව සංවිධානය වී තිබුණි.
ස්විට්සර්ලන්තයේ මැදිහත්වීමෙන් සංවිධානය කෙරුණු හමුව සිදුවුණේ ජිනීවා විල අසල පිහිටි 18 වැනි සියවසට අයත් ස්විස් නිවාඩු නිකේතනයේදීය.
පැය ගණනාවක් සඳහා සැලසුම් සකස් කර තිබුණත්, ජනාධිපතිවරුන් අතර පැවැති සාකච්ඡා පැය 3කින් අවසන් වී තිබුණි.
දෙපාර්ශ්වය අතර සංහිඳියාවක් ඇතිකරගත් බැවින් තවත් සාකච්ඡා කිරීමක් අනවශ්‍ය බවට දෙදෙනාම එකඟවූ නිසා සාකච්ඡා ඉක්මනින් අවසන් වූ බව, ඒ ගැන අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපති බයිඩන් පවසා තිබේ.
එමෙන්ම බටහිර රාජ්‍යයන් සමග ශීතල යුද්ධයකට මැදිහත්වීමේ අවශ්‍යතාවයක් රුසියාවට නොමැති බවද සාකච්ඡාවෙන් පසු බයිඩන් අවධාරණය කළේය.
ඒ අතර රුසියානු ජනාධිපති පුටින් පවසා තිබුණේ බයිඩන් යනු පළපුරුදු රාජතාන්ත්‍රිකයෙක් බවය.
මේ අතර ජනාධිපති පුටින් වෙත ඔහු වෙනුවෙන් නිපදවූ අව් කණ්නාඩි යුවලක් ත්‍යාග කිරීමට ජනාධිපති බයිඩන් කටයුතු කර තිබුණි.
එහෙත් බයිඩන් වෙත පුටින් පාර්ශ්වයෙන් ත්‍යාගයක් ලැබුණා ද යන්න කිසිදු මාධ්‍යක් වාර්තා කර නොතිබුණි.
2018 වසරේදී එවක අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා පුටින් අතර මෙවන් සුවිශේෂී හමුවක් ෆින්ලන්තයේ හෙල්සින්කි නුවරදී පැවති අතර එහිදී ට්‍රම්ප් වෙත පාපන්දුවක් ත්‍යාග කිරීමට පුටින් කටයුතු කර තිබුණි.