23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පොසොන් පොහෝ දින පණිවුඩය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පොසොන් පොහෝ දින පණිවුඩය.

අදීන ජාතියක් ලෙස නිර්මල බුදුදහම අනුගමනය කරමින් සහජීවනයෙන් කටයුතු කිරීමට මග පෙන්වා දුන් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය අද වැනි උතුම් පොසොන් පොහොය දිනයක දී ගෞරවයෙන් යුතු ව සිහිපත් වේ.

ධර්මාශෝක රජු හා දේවානම් පියතිස්ස නිරිඳුන් අතර පැවති රාජ්‍යතාන්ත්‍රික කල්‍යාණ මිත්‍රත්වයේ මහඟු ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී බුද්ධ වර්ෂ 236 දී පමණ බුදුදහම ලක්දිවට දායාද විය. මෙමගින් අපගේ ජාතිය, ආගම මෙන් ම සංස්කෘතියේ නව යුගය ඇරඹිණි.

සීලය, මෛත්‍රිය, ගිලානෝපස්ථානය, ආගන්තුක සත්කාරය වැනි උතුම් ගුණාංග සපිරි ශිෂ්ට සම්පන්න ජාතියක් මෙරටෙහි බිහි වූයේ ද ගමයි පන්සලයි වැවයි දාගැබයි යන සංස්කෘතික පදනම මත ධර්ම ද්වීපය හා පෙරදිග ධාන්‍යාගාරය ලෙස සිරිලක විරුදාවලියට පත් වූයේ ද මිහිඳු මාහිමියන් අප වෙත දායාද කළ බුදුදහමේ ආලෝකයෙනි.

බෞද්ධ සංස්කෘතිය තුළ කලාව, අධ්‍යාපනය, තර්ක බුද්ධිය, කෘෂිකර්මාන්තය ආදී සැම අංශයක් ම දියුණු විය. මිහිඳු මාහිමියන් හඳුන්වා දුන් බුදුදහමේ ජීව ශක්තිය නිසා ශ්‍රී ලාංකිකයන් ලොව කිසිදු ජන වර්ගයකට නොදෙවෙනි ශ්‍රේෂ්ඨ ජාතියක් ලෙස පෙරට ආ බව මම සිහිපත් කරමි.

වෙනදා පොසොන් පොහොයට බැතිමතුන්ගෙන් පිරී යන මිහින්තලා පුද බිම අද එසේ නොවන්නේ මිනිස් ජීවිත බිලි ගනිමින් ලොව පුරා පැතිර යන කොවිඩ්-19 වසංගතයෙන් අප සියලු දෙනා ආරක්ෂා විය යුතු නිසා ය.

බුදුදහමේ උතුම් හරය නිවැරදිව තෝරා බේරා ගැනීමටත් බුද්ධ දර්ශනය අනුව අනාගත දිවි පෙවත සැලසුම්කර ගැනීමටත් දුෂ්කරව ගෙවා දමන මෙම කාලය ඉතා වැදගත් බව මාගේ විශ්වාසයයි.

මෙම උතුම් පොසොන් පොහොය දිනය ධර්මාවබෝධය පිණිස සිත් පහන් දැල්වූ අර්ථාන්විත දිනයක් බවට පත් වේවා! යි මම ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණින් සැමට නිරෝගී සම්පත වේවා!

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments