29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දුමින්ද සිල්වාට නිදහස

දුමින්ද සිල්වාට නිදහස

ජනාධිපති විශේෂ සමාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ට නිදහස ලබාදී තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා ඒ බව තහවුරු කළේය.

පොසොන් පොහොය දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත කරසිටි වැරදිකරුවන් 93 දෙනෙක්ව ජනාධිපති සමාව යටතේ නිදහස් කර තිබුණි.

චන්දන ඒකනායක මහතා පැවසුවේ දුමින්ද සිල්වා මහතාද ඒ අතර වන බවය.

මේ අතර දුමින්ද සිල්වා මහතාට ලබාදුන් මරණ දඬුවම දේශපාලන පළිගැනීමක් බවට දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි ලෙස කතාබහට ලක්වූ මාතෘකාවක් බවට පත්වී තිබුණි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ වෘත්තීය සමිති කටයුතු පිළිබඳ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන්  චෝදනා ලැබූ 13 දෙනෙකුගෙන් දුමින්ද සිල්වා ඇතුළු 5දෙනෙකුට ඉකුත් 2016 වසරේ සැප්තැම්බර් 8 වැනිදා මරණ දඬුවම නියම කෙරුණි.

මෙලෙස මරණ දඬුවම නියම වූයේ දුමින්ද සිල්වා, අනුර තුෂාර ද මෙල්, චමින්ද රවී ජයනාත් හෙවත් දෙමට‍ගොඩ චමින්ද, සරත් බණ්ඩාර හා ප්‍රියන්ත ජානක බණ්ඩාර යන පස්දෙනාටය.

මෙම නඩු තීන්දුව  2/1ක් ලෙස බෙදුණු නඩු තීන්දුවක් ලෙස ප්‍රකාශයට පත්වූ අතර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ දෙදෙනෙකුගේ තීන්දුව වූයේ මෙම වැරදිකරුවන්ට මරණ දඬුවම ලබාදීමය.

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති ශිරාන් ගුණරත්න මහතාට අනූව රජයේ සාක්ෂි පරස්පරතාවයන් පවත්නා හේතුවෙන් මෙම‍ සියලුදෙනාම නිදොස් කොට නිදහස් බව ප්‍රකාශයට පත් කර තිබුණි.

එසේ වුවද සෙසු විනිසුරුවරුන් දෙදෙනාට අනූව සාධාරණ සැකයකින් තොරව වරද තහවුරුව ඇති බැවින් ඉහත පස්දෙනාටම මරණ දඬුවම ප්‍රකාශයට පත් කළ අතර සෙසු පිරිස නිදහස් කිරීමට නියෝග කෙරුණි.

පළාත් පාලන මැතිවරණය පැවති 2011 ඔක්තෝබර් මස 8 වනදා මුල්ලේරියාව, වල්පොළදී සිදු වූ වෙඩි හුවමාරුවකින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙක් මියගියහ.

සිද්ධිය වූ ස්ථානයේ තිබුණු ගිනිඅවි පසුව පොලිස් භාරයට ගැනුණු අතර සිද්ධියේදී තුවාල ලැබූ එවක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා රෝහල් ගත කෙරුණි.

පසුව එම තීන්දුවට එරෙහිව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments