පරිභෝජනය සඳහා මෙරට තුළ සහල් පවතින්නේ මාසයකටත් වඩා අඩු කාලයකට බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
වී මෝල් හිමියන් විසින් ලබා දී ඇති දත්තයන්ට අනුව ඉදිරියේ දී සහල් හිඟයක් ඇති වීමේ අවදානමක් පවතින බැවින් කඩිනමින් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පවසයි.
එමෙන්ම, රජයේ පාලන මිල ඉක්මවන අවස්ථාවලදී අය කරන දඩය ලෙස රු.2500ක් ගෙවීමට නියම කරන ලද නීති රෙගුලාසි ඇතුළත් වූ පාරිභෝගික සේවා අධිකාරි පනතේ විධි විධාන සංශෝධනය කිරිමට පියවර ගන්නා බව ද බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පවසයි.
ඒ අනුව, රජය විසින් නියම කරනු ලබන උපරිම මිල ගණන් කඩ කරනු ලබන අවස්ථාවල දී එම පාර්ශ්වයන් සඳහා රුපියල් ලක්ෂයක දඩයක් හා අවස්ථා ගණන අනුව වැඩිවන දඩයක් නියම කරමින් පාරිභෝගික සේවා අධිකාරි පනත සංශෝධනය කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී ය.
දැනට වෙළෙඳපොලේ ඇති කීරි සම්බා කිලෝවක් රුපියල් 205ත් 230ත් අතර මිලකට විකිණෙන බව වෙළෙඳුන් පවසයි.
මේ අතර මෙරට පවතින තත්ත්වය මත එළවළු මිල තව දුරටත් ඉහළ යා හැකි බව මැනිං පොදු වෙළඳ සංකීර්ණයේ භාණ්ඩාගාරික නිමල් අත්තනායක සඳහන් කරයි.
පවතින පොහොර හිගය හේතුවෙන් එළවළු නිෂ්පාදනය ඉතාමත් වේගයෙන් අඩු වී ඇති බවත් දෙසැම්බර් මාසය වන විට එළවළු සැපයුම් සියයට පනහකටත් වඩා අඩු මට්ටමකට පත්වන බව නිමල් අත්තනායක මහතා වැඩිදුරටත් සඳහන් කරයි. මෙලෙස ඉදිරියට ගියහොත් විදේශයන්ගෙන් එළවළු ආනයනය කිරීමට සිදුවනු ඇතැයි ද ඒ මහතා පවසයි.