26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ආනයන අපනයන බහාලුම් නිෂ්කාශන කටයුතු කාර්‍යක්ෂම හා නිවැරදි කිරීමට තීරු කේත ක්‍රමය...

ආනයන අපනයන බහාලුම් නිෂ්කාශන කටයුතු කාර්‍යක්ෂම හා නිවැරදි කිරීමට තීරු කේත ක්‍රමය (Barcode System) හා Tracking System යොදා ගැනීමට පියවර.

බහාලුම් ප්‍රවාහනය සම්බන්ධව පාර්ශ්වකරුවන් වර්තමානයේදී මුහුණුදෙන ගැටලු සහ ඒ සඳහා ගතහැකි කඩිනම් ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡාවක් අමාත්‍ය නාමල් රාජපක්ෂ හා විෂයභාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) දින වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

එහිදී හදුනාගත් පහත සදහන් ගැටලු කෙරෙහි අවධානය යොමු විය.

• ආනයන අපනයන බහාලුම් ලබාගැනීමේදී හා නැවත ලබාදීමේදී ඇතිවන අපහසුතා.
• වරාය පරිශ්‍රයේ ඇති පර්යන්ත හතරෙන් ආයනය හා අපනයන බහාලුම් ලබා ගැනීමේදී හා ලබාදීමේදී අධික වේලාවක් රැදී සිටීමට සිදුවීම.
• බහාලුම් අංගන රාත්‍රී කාලයේ සේවාව ලබා නොදීමෙන් දිවා කාලයේ ඇතිවන අධික මාර්ග තදබදය.
• බැංකු පහසුකම් හා සේවාවන් සඳහා අවම දින දෙකක් ගතවීම.
• රේගු පහසුකම් ලබා ගැනීමේදී ඇතිවන ගැටලු.
• LCL Cargo නිදහස් කිරීම විධිමත් කිරීම.

භාණ්ඩ හා සේවා හුවමාරු කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව පත් කිරීමේ ඉලක්ක වෙත යන ගමනේදී ආනයන අපනයන ක්‍රියාවලියේදී භාණ්ඩ නිෂ්කාශන කටයුතු වලදී වරාය හා රේගුව යන ආයතන මුහුණ පා ඇති ගැටලු සහ අභියෝගයන් මගහරවා ගනිමින් කාර්‍යක්ෂම සේවාවක් පවත්වාගෙන යාමට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග සම්බන්ධව ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා රේගුව, CICT, SAGT යන ආයතන සමග අමාත්‍යතුමන් සාකච්ඡා කරන ලදි.

වරාය සේවා හා රේගු කටයුතු ඩිජිටල්කරණය හරහා ඉහත ගැටලු බොහෝමයකට විසදුම් ලැබෙන අතර, ඒ හරහා නිවැරදි, විධිමත්, කාර්‍යක්ෂම සේවාවක් සැපයිය හැකි බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

නිෂ්කාශන කටයුතුවලදී සිදුවන ප්‍රමාදයට බලපාන ප්‍රධාන ගැටලුවකට විසදුමක් ලෙස, අදාල භාණ්ඩ ගබඩා තුළ තැම්පත් කර තිබියදී හදුනාගැනීමේ අපහසුතාව මගහරවා ගනිමින් නිවැරදිව හා කාර්‍යක්ෂමව නිෂ්කාශන කටයුතු කර ගැනීම සදහා තීරු කේත ක්‍රමය (Barcode System) හා Tracking System යොදා ගැනීමට කඩිනමින් කටයුතු ආරම්භ කරන බව පැවසීය‍.

වරාය සේවා හා රේගුව ආශ්‍රිත කටයුතු මෙන්ම බැංකු කටයුතු ද ඩිජිටල්කරණය කිරීම හරහා මාර්ගත ක්‍රමවේදය ඔස්සේ (Online) සේවා ලබා ගැනීමට හැකි වීම කලාපයේ නාවික කේනද්‍රස්ථානය ශ්‍රී ලංකාව බවට පත් කිරීමේ ඉලක්කය වෙත කඩිනමින් ළගාවීමට මහගු පිටුවහලක් වන බවත් අමාත්‍යවරයා පැවසීය.

ඩිජිටල්කරණය කිරීමෙන් අනතුරුවඕනෑම තැනක සිට මාර්ගගත ක්‍රමවේද ඔස්සේ තම සේවා කටයුතු ශ්‍රී ලංකා වරාය අධිකාරිය, රේගුව සමග සම්බන්ධ වී කිරීමට හැකිවීමත්, යෝජිත ඩිජිටල් අත්සන් ක්‍රමවේදය හදුන්වාදීමෙන් පසු වඩාත් විශ්වසනීය හා විධිමත් ලෙස ශ්‍රී ලංකාව තුළ ගණුදෙනු කිරීමේ හැකියාවත්, ඔවුන් වෙත සළසන ගුණාත්මක සේවා පහසුකම් නිසාත් කලාපයේ බොහෝ ආයෝජකයින් තම නාවුක කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කර ගනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

මෙම අවස්ථාවට ජනාධිපති කාර්ය සාධක බලකායේ සම්බන්ධීකරණ ලේකම්වරුන් වන වෛද්‍ය ඩී.එස්.ජයවීර, ඇන්ටන් පෙරේරා යන මහත්වරුන්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති සී.කැප්පෙටිපොළ මහතා, උප සභාපති වෛද්‍ය ප්‍රසන්ත ජයවීර, ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුලු නිළධාරීන් හා බහාලුම් ප්‍රවාහනය සම්බන්ධ පාර්ශවකරුවන් පිරිසක් සහභාගී විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments