වැලිසර නාවික මහ රෝහල තුල අභිනවයෙන් ඉදි කළ රුධිර කාන්දු පෙරණ ඒකකය (Dialysis unit) විවෘත කිරීම අද (2021 ජුලි 15) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.
නාවික හමුදා සුභ සාධක අංශයේ අරමුදල් මගින් ස්ථාපිත කරන ලද මෙම ප්‍රතිකාර ඒකකයට අවශ්‍ය අනෙකුත් උපාංග සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් අරමුදල් දායකත්වය ලබා දෙන ලදී.
නාවික පුද්ගලයින්ගේ සුභසාධනය පුළුල් කිරීම උදෙසා නාවික මහ රෝහල තුල ස්ථාපිත කරන ලද මෙම නව රුධිර කාන්දු පෙරණ ඒකකය (Dialysis unit) මගින් වකුගඩු හා සම්බන්ධ විවිධ සංකූලතාවලින් පෙළෙන සියළුම සේවයේ නියුතු සහ විශ්‍රාමික නාවික පුද්ගලයන්හට මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්හට ද ප්‍රතිකාර ලබා ගැනීමට පහසුකම් සැලසෙනු ඇත.
පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කළ මෙම රුධිර කාන්දු පෙරණ ඒකකය විවෘත කිරීමේ අවස්ථාව සදහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රුවන් පෙරේරා, බටහිර නාවික විධානයේ ආඥාපති සහ ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් උපුල් ද සිල්වා, අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා රියර් අද්මීරාල් සේනක සෙනවිරත්න සහ වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා වෛද්‍ය කොමදෝරු පීජේබී මාරබේ ඇතුළු නාවික හමුදා මුලස්ථානයේ සහ බටහිර නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සීමිත පිරිසක් සහභාගී වී සිටියහ.