මේ වනවිට අපේ රටේ විදේශ විනිමය සහ විදේශ වත්කම් පිළිබඳව බරපතළ අර්බුදයක් ඇතිවී තිබෙනවා. මේ නිසා අත්‍යාවශ්‍ය ආනයනයන් සහ ණය ගෙවීම්වලට දැඩි බලපෑම් සිදුවී තිබෙනවා. ආණ්ඩුව බලයට පත්වන විට විදේශ විනිමය හොයන ක්‍රමය අපි දන්නවා කියලා කිවුවා. ඔවුන් පැහැදිලිව කීවේ, “අපි මුදල් හොයා ගන්න විධිය දන්නවා” කියලා. මුදල් රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් මහත්තයාත් අවස්ථා ගණනාවකදීම මුදල් අර්බුදයක් නැති බව කිවුවා. තව ඇමතිවරුන් කිහිප දෙනෙක්ම ඒ අනුව යමින් මත පළ කළා. අපිට පේන දේ, අගමැතිවරයා, ජනාධිතිවරයා සහ අලුත් මුදල් ඇමතිවරයා මුදල් හොයන විධිය දන්නවා කියලා කීවාට ඔවුන් කියලා තියෙන්නේ ඔවුන්ට පුද්ගලිකව මුදල් හොයාගන්න විධිය ගැන. නමුත් රටට, රටේ ණය ගෙවන්න මුදල් හොයන විධිහ ගැන ඔවුන්ට අවබෝධයක් තියෙනවාද කියලා ප්‍රශ්නයක් අපට තිබෙනවා. ඔවුන් දිගින් දිගටම කියන්නේ කොරෝනා වසංගත තත්වය නිසා මේ අර්බුදයට පත්වුණු බවයි. නමුත් ඉතිහාසයේ ඉඳලා සහන ණය ගනිමින් ඉඳලා 2007න් පස්සේ සංවර්ධන බැඳුම්කර සහ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වෙළඳපොළෙට ගිහින් ඉහළ පොලී අනුපාතවලට ආණ්ඩුව ණය ගත්තා. ඒ ණය ආයෝජන ප්‍රතිලාභ ශක්‍යතාවය හරියට ගණනය නොකළ නිසා ඉහළ පොලියක් එක්ක ණය අද ගෙවන්න වෙලා තියෙනවා. අපේ රටේ ජනතාවට තමයි, මේ සියල්ලේ බර දරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ජූලි මාසේ 09වැනිදා මහ බැංකුව නිකුත් කළ සතිපතා ආර්ථික දර්ශක වාර්තාව අනුව ජූනි මාසයේ අවසානයේදී විදේශ වත්කම් සංචිතය ඩොලර් බිලියන 04යි. මෙයින් ඩොලර් මිලියන 381ක් රත්‍රං හැටියට තියෙන්නේ. ජාත්‍යන්තර අරමුදලේ සංචිත හැටියට කොටසකුත් වත්කම් හැටියට ඩොලර් බිලියන 3.5ක් තියෙනවා. මේ ආණ්ඩුව පහුගිය කාලයේ අපේ රත්‍රං සංචිතයේ ටොන් 13න් ටොන් 09ක් විකිණුවා. දැන් ප්‍රශ්නය තියෙන්නේ ජූලි 27 වනවිට ඩොලර් බිලියනයක ස්වෛරීත්ව බැඳුම්කරයක් පියවන්න ඕනෑ. ඒ වගේම අගෝස්තු අවසන් වනවිට තවත් ඩොලර් බිලියන 2.2කුත් ගෙවන්න වෙනවා. මේ මුදල ගෙවලා අවසාන වෙනකොට ඉතිරි වෙන්නේ ඩොලර් බිලියන 1.7ක් විතර ප්‍රමාණයක්. හැබැයි ආහාර ආනයන කටයුතුවලට, බැංකු කටයුතුවලට, තෙල් ආනයනයට ඩොලර් ඕනෑ. පසුගිය 05වැනිදා මෙරටට ආව බොරතෙල් නැව නිදහස් කර ගැනීමේ ගැටලුවක් මතුවුණා. මේ 22වැනිදා පෙට්‍රල් නැවක් එනවා. සැබැවින්ම මේවාට ගෙවීම් කරන්න රාජ්‍ය බැංකුවල විදේශ වත්කම් හිඟයක් තිබෙනවා. ණයවර ලිපි නිකුත් කිරීමේදී ගෙවීමේ හැකියාව පිළිබඳව ඩොලර් වෙන් කරලා බැංකුවලින් පෙන්වන්න ඕනෑ. නමුත් අද වෙලා තියෙන්නේ සාමාන්‍ය කොන්දේසි යටතේ එන නැව්වලට ණයවර ලිපි නිකුත්කර ගන්න බැරි වීමයි. ඉදිරියේදී මේ අවදානම තවත් බරපතළ වෙනවා. ඊට ප්‍රධාන හේතුව තෙල් සංස්ථාව ලංකා බැංකුවට සහ මහජන බැංකුවට 2021 මැයි මාසය වනවිට ඩොලර් බිලියන 3.3ක ඩොලර් ණයක් තියෙනවා. රුපියල්වලින් ගත්තොත් බිලියන 652ක්. ලංකා බැංකුව නැත්නම් මහජන බැංකුව තෙල් සඳහා ගෙවීම් කළ යුත්තේ ඩොලර්වලින්. තෙල් අලෙවි කරලා ඛනිජ තෙල් සංස්ථාව රුපියල්වලින් ආදායම් ලැබුවත් බැංකුවලින් ඩොලර් බවට පත්කරගෙනයි ජාත්‍යන්තර සැපයුම්කරුවන්ට ගෙවිය යුත්තේ. අපේ රටේ බැංකු පද්ධතිය රැඳෙන්නේ විදේශ වත්කම් ප්‍රමාණය මත. පෞද්ගලික ගිණුම්වල තියෙන විදේශ මුදල්, අපනයනකරුවන් තැන්පත් කරන මුදල් සහ බැංකුවට ලැබෙන අනිකුත් විදේශ විනිමයවලින් තෙල් සංස්ථාව වෙනුවෙන් ඇපවීම් කරන්න බැංකු පද්ධතියට හැකියාවක් නැහැ. රුපියල්වලින් මහ බැංකුවට දීලා ඩොලර් නිකුත් කිරීමේ හැකියාවක් මහ බැංකුවටත් නැහැ. බැංකු දැන් කරන්නේ විදේශ ගිණුම් පවත්වාගෙන සාමාන්‍ය ජනතාවගේ සහ අපනයනකරුවන්ගේ ගෙවීම් නොකර තෙල් සඳහා ගෙවීම් කරන එක. එහෙම නැත්නම් තෙල් සඳහා ගෙවීම් නොකර බැංකුව පවත්වාගෙන යන එක. තෙල් වෙනුවෙන් ලංකා බැංකුවත් මහජන බැංකුවත් විතරක් ඩොලර් බිලියන 3.3ක් හිරකරලා තියෙනවා. මහජන බැංකුව ණයවර ලිපි සඳහා ඇපවීම් නතර කරලා තියෙන්නේ. මේ නිසා භාණ්ඩ ආනයනකරුවන්ට සහ සාමාන්‍ය ජනතාවට විශාල විදේශ විනිමය හිඟයක් ඇතිවෙලා තියෙනවා. කොතරම්ද කියනවා නම් ජාත්‍යන්තරව පවත්වන විභාගයකට මුදල් නිදහස් කරගන්න සතියකට කලින්වත් ඩොලර් ඉල්ලුම් කරන්න සිදුවී තිබෙනවා. ණයවර ලිපියක්වත් නිකුත් කරන්න බැරි මට්ටමේ විදේශ වත්කම් හිඟයක් දේශීය බැංකු පද්ධතියට තියෙනවා. ඉන්ධන ආනයනයේදී ඩොලර් බිලියන 3.3ක් පියවපු නැති එක ප්‍රධානම ප්‍රශ්නයක් වී තිබෙනවා. විදේශ විනිමය ඉල්ලුම් කළාට පුද්ගලයින්ට හෝ ව්‍යාපාරික ආයතනවලට විදේශ විනිමය නිකුත් කිරීමේ අර්බුදයක් බැංකුවලට ඇතිවී තිබෙනවා. ඒ වගේම ණය ගෙවීම පිළිබඳව ඩොලර් අර්බුදයක් තවත් පැත්තකින් තීව්‍ර වී තිබෙනවා. ලෙබනනය මේ තත්වයට වැටී තිබෙනවා. ඒ අර්බුදයම ඉතාම නුදුරේදී අපට ඇතිවීමේ අවදානම තිබෙනවා. ලෙබනනයේ දිනපතා විශාල වශයෙන් විදුලිය කප්පාදු කරනවා. ඔවුන් විදුලිය මිලදී ගන්නේ සමාගම්වලින්. ඒ සමාගම්වලට ඩොලර් බිලියන 1.6ක් වගේ මුදලක් ගෙවන්න විදේශ වත්කම් නැතිව ණය වෙලා තියෙනවා. අද අපටත් ඒ තත්වය ඇතිවෙමින් තිබෙනවා. විදේශ විනිමය අර්බුදය නිසා ඉන්ධන ලබාගැනීම, විදුලි බලාගාර පද්ධතීන් ක්‍රියාත්මක කිරීම, ගෑස් පද්ධතීන් ක්‍රියාත්මක කිරීම අනතුරකට පත්වී තිබෙනවා. මේවා විදේශ සමාගම්වලට විකිණීමේ සූදානමක් ආණ්ඩුවට තියෙනවා. මේ අර්බුදය විසඳා ගැනීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග පැහැදිලිව රටට හෙළිකළ යුතුයි. ආනයනයේ සීමා කිරීමේ ක්‍රියාමාර්ගයක් ආණ්ඩුව ගත්තා. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සහ කහ වැනි ආහාර ද්‍රව්‍ය පවා ආනයනය නතර කළා. ඉදිකිරීම් උපාංග ආනයනය සීමා කළා. ඒ වගේම අපනයනවලින් 80%ක් විතර නිෂ්පාදනය කරන අන්තර් භාණ්ඩ ආනයනය සීමා කර තිබෙනවා. මේ සියල්ල තුළින් ඩොලර් අර්බුදය විසඳාගන්න බැහැ. ඉදිරි මාස කිහිපයේදී නව මුදල් ඇමතිවරයා කටයුතු කරන්නේ කොහොමද කියලා පැහැදිලි කළ යුතුයි. ඔහු ඇමරිකානු තානාපතිවරිය ඇතුළු තානාපතිවරුන් කිහිප දෙනෙක් හමුවී සාකච්ඡා කළා. මේ අනුව අනුගමනය කරන ක්‍රියාමාර්ග මොනවාද කියලා ජනතාවට පැහැදිලි කරන්න වගකීමක් ආණ්ඩුවට තියෙනවා.
මුදල් හොයන්න දන්න බව කීවාට ආණ්ඩුවේ අය දන්නේ ඔවුන්ට මුදල් හොයා ගන්න ක්‍රමය විතරයි. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඬල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා
RELATED ARTICLES