26.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්රජයේ සහතික මිළටම වී තොග මිළ දී ගැනීමට සියළුම සහල් මෝල් හිමියන්...

රජයේ සහතික මිළටම වී තොග මිළ දී ගැනීමට සියළුම සහල් මෝල් හිමියන් එකඟවී තිබේ.

ඒ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී ඊයේ(21) පැවති සාකච්ඡාවකදීය. මේ සඳහා සහභාගිවු සියළුම සහල් මෝල් හිමියන් විසින් මෙම තීරණයට එකඟතාවය පළ සිටියහ.

ගොවි ජනතාව ආරක්ෂා කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් වීමෙන් පසුව, වී සඳහා වූ රජයේ සහතික මිළ ඉහළ දැමූ බවත් ඒ අනුව අස්වනු නෙළන මෙම කන්නයේ සිට නාඩු සහ කැකුළු වී කිලෝවක් සඳහා රු.50/=ක් ද, සම්බා වී කිලෝවක් සඳහා රු.52/=ක් ද,කීරි සම්බා වී කිලෝවක් සඳහා රු.55/=ක් වශයෙන් රජයේ සහතික මිළ තීරණය කර ඇති අතර තෙත වී කිලෝවක් සඳහා රු.42/=ක මිළක් නියම කර ඇති බව ද වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළහ.

මෙම සාකච්ඡාව සඳහා රජයේ නිලධාරීන්, මහා පරිමාණ,සුළු පරිමාණ හා සමූපකාර අංශයේ සහල් මෝල් හිමියන් සියළුම දෙනා සහභාගී වී සිටි අතර දීර්ඝ වශයෙන් පැවති සාකච්ඡාවෙන් පසුව රජයේ සහතික වී මිළ ප්‍රතිපත්තියට අනුගත වෙමින් වී මිළට ගැනීම සඳහා රජය සමඟ එකඟතාවයකට එළඹීමට සියළුම සහල් මෝල් හිමියන් කැමැත්ත පල කළහ.

ඒ අනුව වෙළෙඳපොල තුළ අසාමාන්‍ය ලෙස ලාභ ලැබීමේ අරමුණින්, ගොවීන් හා වී මෝල් හිමියන් නොවන, වෙනත් තෙවන පාර්ශ්වයන් විසින් වී තොග රැස් කිරීම තහනම් කිරීමටත්, එම අතරමැදි පාර්ශ්වයන් විසින් ලාභ ලැබීමේ පදනමින් වී තොග රැස් කළහොත් එම තොග සියල්ලම රජයට පවරා ගැනීමට අවශ්‍ය නීතිමය විධි විධාන යොදන බව අමාත්‍යවරු මෙහිදී අවධාරණය කළහ.

එහිදී අදහස් දක්වමින් වෙළෙඳ හා කෘෂිකර්ම අමාත්‍යවරු කියා සිටියේ, රජය විසින් වී සඳහා සහතික මිළක් පැනවීමට කටයුතු කළේ, වී ගොවීන් ආරක්ෂා කරමින් ඔවුන්ගේ නිෂ්පාදන සඳහා උපරිම මිළක් ලබා දීම හා රුපියල් සියයට වඩා අඩු මිළකට පාරිභෝගිකයන් වෙත සහල් කිලෝවක් ලබා දීමේ අරමුණින් බවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් වීමට පෙර රු.30/=ක්, රු.32/=ක් වැනි අඩු මිළකට පැවති වී කිලෝවක් සඳහා වූ මිළ ගණන් ඉහළ දමමින් සහතික මිළක් පැනවීමට රජය කටයුතු කළ බව ද වැඩිදුරටත් අමාත්‍යවරු පෙන්වාදුන්හ.

මීට අමතරව රජයේ සහතික මිළට වඩා වැඩියෙන් සහල් අලෙවි කරනු ලබන වෙළෙඳසැල් හිමියන් හට මෙතෙක් පනවනු ලැබූ රු.2500/= දඩය, රු.100,000/=ක් දක්වා වැඩි කිරීම සඳහා වූ පාරිභෝගික සේවා අධිකාරී පනතේ වගන්තිය කඩිනමින් සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඬල අනුමැතිය මේ වන විට ලබාගෙන ඇති බවත් එය ඉදිරි සති දෙක ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරනු ලබන බව මෙහිදි ප්‍රකාශවූහ.
ගොවීන් හා සහල් මෝල් හිමියන් නොවන තෙවන පාර්ශ්වයන් විසින් වී තොග ලබා ගැනීම වැළැක්වීම සඳහා, වී තොග ලබා ගැනීමට බැංකු මඟින් ලබා දෙන ණය අත්හිටුවීමට කටයුතු සලසා ඇති බව ද අමාත්‍යවරු මෙහිදී කීහ.

මෙම සාකච්ඡාව සඳහා සහභාගී වී සිටි මහා පරිමාණ සහල් මෝල් හිමිකරුවන් කිහිපදෙනෙකු මෙසේ අදහස් දැක්වූහ.
අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා……….අද දවසේ වෙළෙඳ අමාත්‍ය සහ කෘෂිකර්ම අමාත්‍ය සමඟ පැවති මහා පරිමාණ, මාධ්‍ය පරිමාණ, සුළු පරිමාණ හා සමූපකාර සියළුම සහල් මෝල් හිමියන්ගේ ඒකමතික අදහසින් රජය විසින් තීරණය කරන ලද මිළටම, වී ලබා ගැනීම සඳහා තීරණය කරන ලද බව සියළුම දෙනා වෙනුවෙන් මා කියන්න කැමැතියි.

මරඳගහමුල සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති කේ.බී.රංජිත් මහතා , “සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් හැටියට මම හිතන්නෙ ලංකාවෙ පළවෙනි වතාවට තමයි කෘෂිකර්ම ඇමතිවරයාත්, වෙළෙඳ ඇමතිවරයාත් ලංකාවෙ සහල් නිෂ්පාදනය කරන මහා පරිමාණ, මධ්‍ය පරිමාණ, සුළු පරිමාණ හා සමූපකාර සහල් මෝල් හිමියන් එකම ස්ථාවරයකට පැමිණ කෘෂිකර්ම අමාත්‍යාංශයේදී මේ වැනි ප්‍රකාශයක් කිරීමට යොමු වන්නේ. මම හිතන්නේ රටේ පාරිභෝගික ජනතාවගේ වාසනාවක් මේක‍. අද අපි සියළු දෙනාම, කෘෂිකර්ම ඇමතිතුමත්, වෙළෙඳ ඇමතිතුමත් ඉදිරියේදී එකඟතාවයකට පැමිණියා මින් ඉදිරියට රජයේ සහතික මිළට වී මිළදී ගැනීමට. ඒ වගේම, මේ නිසා ප්‍රමිතියෙන් යුතු නාඩු සහ කැකුළුවී කිලෝවක් රු.50/=ක මිළට, සම්බා වී කිලෝවක් රු.52/=කට ද,කීරි සම්බා වී කිලෝවක් රු.55/=කට ද මිළදී ගනිමින්, රජයේ සම්මුතිය අභිබවා නොයන ආකාරයට වී මිළට ගැනීමට අපි එකඟතාවයට පැමිණියා. තෙත වී කිලෝවක් රුපියල් 42කට ලබා ගැනීමටත් ඒ අනුව එම කොන්දේසි උල්ලංඝනය නොවන ආකාරයට කටයුතු කරමින් අපි සියළු දෙනාම අද මේ අවස්ථාවේදී රට වෙනුවෙන් කියා සිටිනවා රජයේ අභිලාෂය හා පාරිභෝගික ජනතාවගේ අභිලාෂය ඉටු කරමින් මින් ඉදිරියට වෙළෙඳපොලේ සහල් මිළ රජයේ පනවා ඇති මිළට පවත්වාගෙන යාම සඳහා අපි ක්‍රියාත්මක වෙනවා.”මෙම සාකච්ඡාව සඳහා ලංකා බැංකුවේ සභාපතිතුමා, වී අලෙවි මණ්ඬලයේ සභාපති සහ උප සභාපති, මහා පරිමාණ, මධ්‍ය පරිමාණ හා සුළු පරිමාණ සහල් මෝල් හිමියන්, ශ්‍රී ලංකා සහල් කර්මාන්තකරුවන්ගේ සමූපකාර සංගමයේ සාමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments