දුප්පතාගේ හිතවතා කියා දුප්පත් නායකයෝ හැදුවම ඔවුන් මහජනතාව හිඟන්නන් බවට පත්කරන බවත්, අද කළ යුතුව ඇත්තේ මහජනතාව දුප්පත්කමින් ගොඩගන්න රනිල් වික්‍රමසිංහ වැනි බුද්ධිමත් නායකයෙක් බලයට ගෙනඒම බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති සහ හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ඉතිහාසයේ පැරණි කතන්දරවලින් මේ රට නැවත ගොඩගත නොහැකි බවත් ජපානය, තායිලන්තය වැනි බෞද්ධ රටවල් අනුගමනය කළ පියවර මෙරට අනාගත ජාතික ප්‍රතිපත්ති බවට පත්කර ගනිමින් රට ගොඩනැගීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අපේක්ෂාකරන බව අබේවර්ධන මහතා පැවසීය.
ගාල්ල එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී අද (21) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය.
මෙම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න සහ ඒවාට වජිර අබේවර්ධන මහතා ලබාදුන් පිළිතුරු පහත දැක්වේ.
ප්‍රශ්නය 1 :
ඇමතිතුමා ඔබතුමා හෙළිදරව්වක් කළා උගතුන්, වියතුන්, බුද්ධිමතුන් රට හැර යන්න සූදානමක් තියෙනවා කියාල, ඒ පිළිබඳව වැඩි විස්තරයක් කියන්න පුළුවන්ද?
පිළිතුර –
වත්මන් ආණ්ඩුව බලයට පත්වූ දා සිට මේ දක්වා රටේ උගතුන්, බුද්ධිමතුන්, මධ්‍යම පාන්තිකයන්, ව්‍යාපාරිකයන්, වෘත්තීයවේදීන් ලක්ෂ 6 ක් පමණ රට හැර යාම ආරම්භකර තිබෙනවා. මේ වනවිට යුරෝපීය රටවල් වලටත්, ඇමරිකා එක්සත් ජනපදය හා ඕස්ට්‍රේලියාව ඇතුලු රටවල් වලටත්, ලෝකයේ විවිධ රටවල් වලටත් ඔවුන් අයදුම් පත්‍ර ඉදිරිපත් කර තිබෙනවා. ඔවුන්ගේ අයදුම්පත් විශාල ප්‍රමාණයක් මේ වනවිටත් තානාපති කාර්යාලවල සිරවී තිබෙනවා.
රටේ බුද්ධිමතුන්, උගතුන්, ව්‍යාපාරිකයන් රට හැර යාම රටේ හිස් බවක් ඇතිවන තැනකට තල්ලුවීමක් බව කිව යුතුයි. දුප්පත්කම දුප්පත්කමෙන් නැති කරන්න බැහැ. දුප්පතාගේ හිතවතා දුප්පතෙක් වුනොත් ඒ රට හිඟන්නන්ගේම පාරාදීසියක් බවට පත් වෙනවා. දුප්පතුන්ට ඕන කරන්නේ උගතුන්, බුද්ධිමතුන් පිරිසක්. දුප්පතා ඉන්නා තැනින් ගලවාගෙන ශක්තිමත් කරන්න නම් උගත්කමෙන්, බුද්ධිමත්කමෙන් ලෝකයත් එක්ක වැඩ කරලා දුප්පත් අය ශක්තිමත් අය බවට පත් කළ යුතුව තිබෙනවා. හැබැයි අපේ සමාජය පුරුදු වෙලා තියෙන්නේ දුප්පතාගේ හිතවතා දුප්පතෙක් තෝරාගෙන දුප්පතා හිඟන්නෙක් බවට පත්කිරීමයි. ඒ නිසා එම සමාජ ක්‍රමය එක්සත් ජාතික පක්ෂ නව ආර්ථික සැලැස්ම ඔස්සේ සම්පුර්ණයෙන්ම පරිවර්තනයකට ලක් කරන බව සිහිපත්කිරීමට කැමතියි.
ප්‍රශ්නය 2 :
ඇමතිතුමා දැන් ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය සම්බන්ධව ගැටලු මතු වෙලා තියෙනවා, ගුරු සංගම් කියනවා නිරෝධායන නීති වලට මුවා වෙලා උද්ඝෝෂණය කරන ගුරුවරු මර්ධනය කරන්න හදනවා කියලා. මේ පිළිබඳව ඔබතුමාගේ අදහස කුමක්ද?
පිළිතුර –
මේ වන විට ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය ඇතුලුව සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රයම බරපතල කඩා වැටීමකට ලක්වෙලා තිබෙනවා. උදාහරණයක් ලෙස මතක් කරන්න කැමතියි 1987,1988,1989 කාලයේ රටේ ඇති වූ තත්ත්වය සමග එදත් රට තුළ අධ්‍යාපනය ක්‍රියාත්මක වුණා. විවිධ අවස්ථාවල රටේ හදීසි නීතිය, ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන අවස්ථාවල පවා රටේ අධ්‍යාපනයටබාධාවක් නොවෙන්න ක්‍රියාත්මක වුණා. දැන් ශ්‍රී ලාංකික අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඉන්නා දරුවන් ඉබේම වර්ග දෙකකට වැටෙනවා. එකක් ජාත්‍යන්තර පාසල්වල ඉන්න සියලු දරුවන් ඔන්ලයින් ක්‍රමයට තමන්ගේ අධ්‍යාපනය නියමිත වෙලාවට සිදු කරනවා,
සියලු විභාග වලට නියමිත වේලාවට පෙනී හිටිනවා. එතකොට ඒ ළමයි ඉදිරියට ගමන් කරනවා.රාජ්‍ය යාන්ත්‍රණය තුළ ඉන්න ලක්ෂ 45 ක ළමා පරපුර බරපතල ඛේදවාචකයකට රජය පත් කර තිබෙනවා.
ඒ නිසා තමයි අපි හැමවෙලාවෙම කල්පනා කළේ ඔන්ලයින් ක්‍රමය තුළ ගුරුවර ගුරුවරියන් මුළු අධ්‍යාපන ක්ෂේත්‍රයම බරපතල ඛේදවාචකයක ඉන්නේ. ඒ අය ඩේටා සොයා ගැනීමට, ඒ සඳහා අදාල මුදල් සියල්ලම ඒ අයගේ පුද්ගලික මුදල් ආයෝජනය කරලා ක්‍රියාත්ක කිරීම සිදු වෙලා තිබෙන්නේ. ඒ නිසා තමයි ඈත දැකලා එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා එදා 2016 අග භාගයේදී කල්පනා කළේ ලෝකයේ ඇති වන තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ශ්‍රී ලාංකික අධ්‍යාපනය සැකසිය යුතුයි කියලා.
ඒ වෙලාවේ මේ අධ්‍යාපන ක්‍රමයේ වෙනස්කම කරලා ඔන්ලයින් ඉගෙන ගන්න අවශ්‍ය කරන පරිගණක, ටැබ් යන්ත්‍ර සූත්‍ර දෙන්න ඕන කියන කැබිනට් පත්‍රිකාව ගෙනාවම සමහර අය එදා හැසිරුණේ වෙනත් විදියකට. එදා මේ මාධ්‍යට රෑට රෑට ප්‍රකාශ කළේ මේ අය පරිගණක ළමුන්ට දෙන්න හදනවා, මේ බලන්න පාසල් වල ගොඩනැගිලිවල වහල නැති පාසල් තියෙද්දි කියලා. හැබැයි ඒ අයට අවබෝධයක් නෑ වහල නැතත් ලැප්ටොප් එක තියෙනවා නම් ළමයාට තමන්ගේ අධ්‍යාපනය කරන්න පුලුවන් කියන එක. මේවා පටු දේශපාලන පරමාර්ථ ඔස්සේ තමයි එදා අපේ පාලන කාලය තුළත් මහා වැඩ වර්ජන ඇතුලු කඩා කප්පල්කාරී ක්‍රියාවන් සිදු වුණේ.
ගුරුවර ගුරුවරියන්ට අතිරේක මුදලක් දිය යුතුයි ඩේටා මිලදී ගන්න.
කෙසේ වෙතත් ගුරුවර ගුරුවරියන් ඉතාම අමාරුවෙන් තමයි ඔන්ලයින් අධ්‍යාපනය කරගෙන යන්නේ. හරි නම් ඔවුන්ට ඩේටා ලබා ගැනීම සඳහා අතිරේඛ මුදලක් සමස්ථ ගුරුවර ගුරුවරියන්ට විදුහල්පතිවරුන්ට වැටුපට අමතරව මේ කාල සීමාව තුළ ලබා දිය යුතුව තිබෙනවා. එසේ නොමැති වුණොත් ඒ ගුරුවර ගුරුවරියන් වෙනත් මාර්ග ඔස්සේ තමයි ඩේටා වලට අවශ්‍ය කරන මුදල් සම්පාදනය කර ගැනීමට සිදුවෙලා තිබෙන්නේ.
කෙසේ හෝ සම්පූර්ණයෙන්ම අසාර්ථක ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙනවා. ඒ හරහා 25 ක 30 ක පිරිසක් තමන්ගේ විරෝධය ප්‍රකාශ කරනකොට ඒ විරෝධය කරන ස්ථානයේ තිබුණු තමන්ගේ කෝවිඩ් නීති රීති වලට අනුකූලව කරපු විරෝධතාවය, කෝවිඩ් නීති රීති කඩා බිඳ දමලා එතන කෝවිඩ් පතුරවන ස්ථානයක් බවට පත් කළා. ඒක රජය කරපු බරපතල වරදක්. ඒ නිසා තමයි වරද මම දැක්කා සමහර ආණ්ඩුවේ මැති ඇමතිවරුත් එය ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. පිළිකුල් සහගතව හෙළා දැකලා තිබුණා. කෙසේ හෝ දැන් සාකච්ඡා මාර්ගයෙන් මේ කටයුතු ළමුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් නොවෙන ආකාරයට යම් ක්‍රියාවලියකට ප්‍රවිශ්ඨ විය යුතුව තිබෙනවා. ඒ සඳහා මං හිතනවා සියලු කණ්ඩායම් කටයුතු කළ යුතුයි කියලා.
ප්‍රශ්නය 3 –
බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමතිධූරය භාරගෙන තිබෙනවා. ඔහුගේ මැදිහත්වීමෙන් ඉදිරියේදී ඉන්ධන සහ බඩු මිල අඩුකර ජනතාවට සහන ලබාදෙනු ඇතැයි බොහෝ දෙනෙකු විශ්වාස කරනවා. මේ බලාපොරොත්තු ඉටුවනු ඇතැයි ඔබතුමා විශ්වාස කරනවාද?
පිළිතුර –
මං හිතන්නෙ රටක ආර්ථිකය ඇමතිකෙනෙකුට පුද්ගලිකව කළ හැකි කාර්යයක් නොවේ. එය රජයේ විදේශීය හා දේශීය ප්‍රතිපත්ති නිසියාකාරව හැසිරවීමේ නායකත්වය තුළ තමයි ඒ කටයුත්ත කළ යුතුව තිබෙන්නේ. කවුරුහරි හිතනවා නම් නව මුදල් ඇමතිවරයෙක්ගේ පත්වීමෙන් රට විශේෂ තැනකට ගමන් කරන්න පුලුවන් කියලා මං හිතනවා ඒ කටයුත්ත පසුගිය අවුරුද්දක කාල සීමාව අවුරුදු දෙකක කාලසීමාව තුළත් තමන්ගේම සහෝදරයා අගමැති විදියට හිටියා මහින්ද රාජපක්ෂ මැතිතුමා. ඉතින් තමන්ගෙ සහෝදරයට ආර්ථිකය ගොඩගන්න පුලුවන් ක්‍රමයක් තිබුණා නම් එය ලබා නොදී සිටියි කියා මං විශ්වාස කරන්නේ නැහැ.
රටේ මහජනතාව අනිසි බලාපොරොත්තු තියා ගන්නවා විවිධ පුද්ගලයන් කෙරෙහි. නමුත් මෙය පුද්ගලයෙකුට විසඳිය හැකි ප්‍රශ්නයක් නොවේ. ආණ්ඩුවක විදේශ ප්‍රතිපත්තියත්, දේශීය ප්‍රතිපත්තියත් එක හා සමානව ක්‍රියාත්මක කිරීම තුළ තමයි රටක සමස්ථ ජනතාව ආරක්ෂා කිරීමට පියවර ගත හැක්කේ. ඒ නිසා මේ රජයට ඒ කටයුත්ත කරන්න බැහැ. එය දිනෙන් දින කඩා වැටෙමින් ගමන් කරනවා. ඒ කඩා වැටීමේ අවසන් ප්‍රතිපලයක් හැටියට සමස්ත ශ්‍රී ලාංකික ජනතාව බරපතල ඛේදවාචකයකට පත් වෙනවා.
ඒ ඛේදවාචකයෙන් ගොඩ ගැනීමට කාටවත් වෙනස් කළ නොහැකි ජාතික ප්‍රතිපත්ති රාමුවක් එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙන අතරඑය යකඩ රාමුවක් විය යුතු බව අපේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රකාශකර තිබෙනවා. සියලු දෙනාගේ එකඟතාවය ඇතිව, සියලු දෙනා එකඟ කරගෙන වැඩ කිරීම තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ අමාරු ක්‍රියාවලිය. සියලු දෙනාගේ අදහස් වලට ඇහුම්කන් දීලා ක්‍රියාකිරීම තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ අමාරු ලක්ෂණයයි. ඒ අමාරුම ලක්ෂණය බොහොම හොඳින් කරන්න පුලුවන් නායකයෙක් ඉන්නවා නම් ඒ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතුමා ඒ ගැන මේ දිනවල කටයුතු කරමින් ඉන්නවා.
රනිල් වික්‍රමසිංහ නායකතුමා කල්පනා කරනවා බෞද්ධ රාජ්‍යයන් තිබෙන ජපානය, තායිලන්තය වැනි රටවල් අනුගමනය කරපු පියවරවල් ශ්‍රී ලංකාව තුළ අනාගතයේ ජාතික ප්‍රතිපත්ති හැටියට සකස් කරලා මහජනතාව මේ ප්‍රශ්නයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කරලා අලුත් සියවසකට අලුත් ගමනක් ආරම්භ කරන්න. ඉතිහාසයේ පැරණි කතන්දර වලින් මේ රට නැවත ගොඩගන්න බැහැ.
නව පරම්පරාවක් සමාජගත වෙලා ඉන්නවා. ඒ පරම්පරාව ලෝකය සමග වැඩ කරන පරම්පරාවක් බවට පත් වෙලා තිබෙනවා. ඒ පරම්පරාවට ගැළපෙන නව එක්සත් ජාතික පක්ෂයක්, නව ඉලක්ක සමූහයක් මේ අවුරද්දේ සැප්තැම්බර් 06 වෙනිදා අපේ පක්ෂය නිවේදනයකරනවා. ඒ ඔස්සේ අපි ගමන් කරනවා කියලා මතක් කරන්න කැමතියි.