කොවිඞ් මරණ ඉහළ යාමට වැඩිහිටියන්ට එන්නත් ප්‍රමුඛතාව නොදීම බලපෑ බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ(13) එම පක්ෂ ප්‍රධාන කාර්යාලායේ පැවැති මාධය හමුවකදීය. එහිදි අදහස් දැක්වු ඒ මහතා මෙසේද කීය……..
අද වනවිට ඩෙල්ටා ප්‍රභේදය ඉතා වේගයෙන් ව්‍යාප්ත වීමත් සමග ආණ්ඩුව දක්වන ප්‍රතිචාරවල පරස්පතරතා නිසා රටේ ඇතිවී තිබෙන අවිනිශ්චිතභාවය සම්බන්ධයෙන් අපේ ස්ථාවරය රටට හෙළි කළ යුතුව තිබෙනවා. ඊයේ(11) වනවිට වැඩිම මරණ සංඛ්‍යාව වූ 124ක් මියගොස් ඇති අතර මේ වනවිට 5424ක් වසංගතයෙන් මියගොස් තිබෙනවා. තුන් ලක්‍ෂ ගණනක් ආසාදිතයන් වී සිටිනවා. සමාජයක් හැටියට, රටක් හැටියට අතිශය වේදනාකාරී අත්දැකීම්වලට මුහුණ දෙන්න වී තිබෙනවා. අද වනවිට ආසාදනය වී නැත්තේ කාටද කියලා අහන්න සිදුවෙන මට්ටමකට වසංගතය පැතිරිලා. මෙවැනි මොහොතක රටේ ජනතාව ඇත්ත දත්ත දැනගැනීම ඉතාම වැදගත්. අවදානම සම්බන්ධයෙන් වගේම තීන්දු-තීරණ ගැනීමේදී මේ සත්‍ය තොරතුරු ලබාගැනීම අතිශය වැදගත්.
නමුත් ඊයේ වනවිට මේ ඉදිරිපත් කරන දත්තවල බරපතළ පරස්පරතාවයන් තිබෙන බව තහවුරු වුණා. ගම්පහ දිස්ත්‍රික්කයේ වසංගත රෝග විද්‍යා අංශයත් දිස්ත්‍රික් ලේකම්වරයාගේ සම්බන්ධීකරණ කමිටුවේදී හෙළිවුණු කරුණුත් බරපතළ පරස්පරයි. අගෝස්තු මාසයේ මුල් දින 08ක ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයන් 12,555ක් බව දිස්ත්‍රික් ලේකම්වරයාගේ සම්බන්ධීකරණ කමිටුවෙන් හෙළි වෙනවා. ඒ දින 08 සම්බන්ධයෙන් කොවිඞ් මර්දන බලකායෙන් වාර්තා කර තිබෙන්නේ 3729ක්. මේ අනුව 8826කගේ දත්තවලට සිදුවූ දෙයක් නැහැ. මේ නිසාම ඊයේ(11) දිනයේ මගහැරුණු සංඛ්‍යා හැටියට 3223ක් එකතු කර තිබෙනවා. නැගෙනහිර පළාතේ මඩකලපුවේ 45ක් සිටින බව කොවිඞ් මර්දන බලකායෙන් කියනකොට දිස්ත්‍රික් සෞඛ්‍ය නිලධාරී කාර්යාලය 342ක් බව කියනවා. ත්‍රිකුණාමලයේ 71ක් බව බලකායෙන් කියනකොට සෞඛ්‍ය අධ්‍යක්‍ෂවරයා 163ක් ඉන්න බව කියා තිබෙනවා. අම්පාරෙත් තත්වය මේ වගෙයි. ඇත්ත කියන්නේ කවුද කියන්නේ කියන ගැටලුව තියෙනවා. සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ජනාධිපති කාර්ය සාධක බලකාය මේ තොරතුරු ලබාගන්නවා. එක්කො සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැරදි තොරතුරු ඉදිරිපත් කර තිබෙනවා. එහෙම නැත්නම් හමුදාපතිවරයා ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානියා වශයෙන් වැරදි තොරතුරු ඉදිරිපත් කර තිබෙනවා.
නිවැරදි තොරතුරු ඉදිරිපත් කළේ නැත්නම් ජනතාවට බරපතළ සැකයක් ඇති වෙනවා. මේ තත්වය දිගටම තිබුණා. වසංගත රෝග මර්දන ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහත්තයා ඒ තනතුරෙන් ඉවත් කළේ තොරතුරු සම්බන්ධ ප්‍රශ්නයකට. ඊයේ(11) මාධ්‍ය වාර්තා කළ කරුණු අනුව තොරතුරු ලොකු කරන්නේ හෝ පුංචි කරන්නේ කවුද කියලා හෙළි කළ යුතුයි. මෙය බරපතළ ප්‍රශ්නයක්. ආණ්ඩුවක් මේ සෙල්ලම් කරන්නේ ජනතාවගේ ජීවිතත් සමගයි. මේ වසංගතයේ ගොදුරු බවට පත් කළේ වරදක් කළ අය නෙවෙයි. ආණ්ඩුවේ අමනෝඥ තක්කඩි තීන්දුවල ප්‍රතිඵලයක් හැටියට වසංගතයේ ගොදුරු බවට ජනතාව පත්කරනවා. මිය යන අය සම්බන්ධයෙන් තත්වයත් මේකද කියන සැකය බරපතළ ලෙස ඇතිවී තිබෙනවා. රෝහල්වල වාර්තා අනුව සමාජයේ හැම කෙනෙකුටම දරාගන්න බැරි ඛේදනීය තත්වයක් ඇතිවී තිබෙනවා. ජනතාවගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් තීන්දු ගැනීමේදී සහ තොරතුරු ඉදිරිපත් කිරීමේදී ඇත්ත දැන ගැනීමේ අයිතිය ජනතාවට තියෙනවා. ආණ්ඩුව මේ තොරතුරු විකෘති කිරීම ගැන වගකීමෙන් ප්‍රකාශ කරන්න කියලා අපි බල කරනවා.