කොවිඞ් වසංගතය ඇතිවූ පසුව එහි දරුණුතම ව්‍යසන අවදියට අපේ රට මුහුණ දී තිබෙනවා. මේ තත්වය පිළිබඳව පාලකයන් විසින් නිසි තක්සේරුවකින් යුතුව තීන්දු-තීරණ සහ ක්‍රියාමාර්ග නොගන්නා බව තහවුරු වී තිබෙනවා. මේ නිසා පවතින තත්වය සමාජයට හෙළිදරව් කරමින් ජනතාව මේ හමුවේ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුම්දීමට මෙම මාධ්‍ය හමුව පවත්වනවා.
මේ ව්‍යසනය දරුණු වී තිබෙන තරම සිකුරාදා (13) දිනයේ දත්තවලට අනුව සෑම මිනිත්තු 09කටම වරක් අපේ ආදරණීයයන් මියයමින් තිබෙනවා. දෛනික මරණ සංඛ්‍යාව 150 ඉක්මවමින් වාර්තා වෙනවා. මෙය දෛනිකව වාර්තා වන ආසාදිතයින්ගෙන් 05% ඉක්මවන තත්වයක්. භයානක ලෙස මෙම වෛසරය පැතිරුණු රටවල් හා සංසන්දනය කරන විට ඉතාමත්ම භයානක තත්වයක්. ආසාදිතයින් දෛනිකව 3,000 ඉක්මවූ ප්‍රමාණක් වාර්තා වෙනවා. අපේ රෝහල් පද්ධතියෙන් හරි අඩක් කොවිඞ් මර්දනය සඳහා යොදා ගන්න කියලා ආණ්ඩුව උපදෙස් දී තිබෙනවා. සාමාන්‍යයෙන් ගත්තත් රෝගීන්ට ප්‍රමාණවත් නොවන රෝහල් පද්ධතියක් තියෙන්නේ. 50%ක් කොවිඞ් සඳහා පමණක්ම යෙදවීමෙන් නොනැවතී මුළු රෝහල් පද්ධතියම කොවිඞ් සඳහා යොදා ගැනීමට සිදුවීමේ අනතුරක් තියෙනවා. විශේෂයෙන්ම නිව්මෝනියා තත්වයේදී පාවිච්චි කරන ‘ටොෆිලිසුමැබ්’ කියන ඖෂධය කොළඹ ජාතික රෝහල තුළ හිඟ වී තිබෙනවා. සමස්තයක් හැටියට ඖෂධ හිඟයක් පවතිනවා.
ඊට අමතරව සෞඛ්‍ය කාර්ය මණ්ඩල විශාල ප්‍රමාණයක් ආසාදනයට ගොදුරු වී තිබෙනවා. එක පැත්තකින් රෝහල් ධාරිතාව 50%ක් කොවිඞ්වලට වෙන් කිරීම, ඖෂධ හිඟය සහ කාර්ය මණ්ඩල ආසාදනය වීමෙන් මුළු සෞඛ්‍ය පද්ධතියම කඩා වැටීමේ අනතුරකට අපේ රට මුහුණ දී තිබෙනවා. මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්, විශාල ප්‍රමාණයක් රෝගයට ගොදුරු වී තිබෙනවා. මේ නිසා සෑම පැත්තකින්ම වාර්තා වී තිබෙන්නේ අපේ රටේ ජනතාව අනතුරට පත්වී තිබෙන බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉදිරි පුරෝකථන අනුව සැප්තැම්බර් මාසයේ සිට දෛනික මරණ සංඛ්‍යාව 220 ඉක්මවන බවත් දෙසැම්බර් මස අවසන් වන විට අවම වශයෙන් 15,000 සිට උපරිම වශයෙන් 30,000 දක්වා මරණ සිදුවිය හැකි බව වාර්තා කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම පුරෝකථනයන් සකස් කළේ අපේ රටේ පබා පලිහවඩන ඇතුළු ජ්‍යෙෂ්ඨතම වෛද්‍ය විශේෂඥ කණ්ඩායම් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායම් එකතුවකින්. මෙයින් පෙන්වන දිශාවන් වඩාත් බිහිසුණු බවට අනතුරු අඟවා තිබෙනවා. වගකීම් දරන සියලු ආයතන ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ආණ්ඩුවට දැනුම් දී තිබෙනවා. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ පද්මා ගුණරත්න මැතිතුමිය මෙහි තිබෙන මාරාන්තික ස්වභාවය අනුව අවම වශයෙන් ඇඳිරි නීති ක්‍රියාමාර්ගයකට යා යුතු බව දැක්වූවා. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ලකරුවන් ප්‍රනාන්දු රට වැසිය යුතුයි කියන යෝජනාව ඉදිරිපත් කළා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තමන් ලබාදුන් යෝජනා ක්‍රියාත්මක කළා නම් විශාල මරණ සංඛ්‍යාවක් වළක්වා ගත හැකිව තිබූ බව ප්‍රකාශ කළා.
මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහත්මයා ප්‍රකාශ කර තිබුණේ දැන් රට වැහුවත් තව දින 10-12ක් යන තෙක් මේ සිදුවන මරණ වළක්වා ගත නොහැකි බවයි. නමුත් ඊට පසුව සිදුවන මරණ වළක්වා ගැනීම සඳහා රට වැසීමට සූදානම් නැත්නම් සති දෙකකට ආහාර සූදානම් කරගෙන තමන් විසින්ම නිරෝධායනයට ලක්වන ලෙස ඔහු ඉල්ලා සිටියා. නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් හේමන්ත හේරත් මහත්මයා ගතයුතු ක්‍රියාමාර්ගය පිළිබඳව රජය දැනුවත් කර ඇති බව සහ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව උපදෙස් දී ඇති බව ප්‍රකාශ කර තිබුණා. කොවිඞ් මර්දන රාජ්‍ය ඇමති සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මාධ්‍යයට හෙළි කළේ රජය අදාළ තීන්දු-තීරණ ගත යුතු බවයි. වෙනත් අය තීන්දු ගන්නා බැවින් ජනතාවගේ ආරක්‍ෂාවට වගකියන්න කිසිවෙක් නැති බව ඇය ඇඟවීම් කර තිබෙනවා. පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය අමාත්‍යවරිය කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කරන්න සූදානම් වූ අවස්ථාවේ ජනාධිපතිවරයා එය වැළැක්වූ බව සඳහන් වෙනවා. අවශ්‍ය නම් වෛද්‍යවරුන්ට ජනාධිපතිවරයාව මුණ ගැසෙන ලෙසටත් දන්වා තිබෙනවා.