කොරෝනා වයිරසය මුදල් නෝට්ටු, ජංගම දුරකතන, දොර අගුල්, අත්වාරු ආදී බොහෝ පෘෂ්ඨයන් මත තැන්පත්ව තිබිය හැකි බවත්, ඒ ඔස්සේ කෙනෙකුට ආසාදනය විය හැකි බවත් දැන් කාලයක සිට පවතින මතයකි. මෙවැනි පෘෂ්ඨයන් මත වයිරසය කොපමණ කාලයක් ක්‍රියාකාරී තත්ත්වයෙන් පැවතිය හැකි ද යන්න සම්බන්ධයෙන් ද නොයෙකුත් මත පළ වෙමින් තිබෙනු දැකිය හැකි විය. මෙයට අදාළ ව අනාවරණය වන අලුත්ම තොරතුරකින් පැවසෙන්නේ ඇතැම් පෘෂ්ඨයන් මත කොරෝනා වයිරසය දින 28 ක් තරම් දිගු කාලයක් ක්‍රියාකාරිව පැවතිය හැකි බවයි. මුදල් නෝට්ටු, ජංගම දුරකතන තිර, වානේ පෘෂ්ඨයන් ආදිය මත වයිරසය මේ තරම් කාලයක් පැවතිය හැකි බව සඳහන් වේ. මේ බව අනාවරණය කර ඇත්තේ ඔස්ට්‍රේලියාවේ ජාතික විද්‍යා ඒජන්සිය විසින් කරන ලද පර්‌යේෂණයක් තුළිනි. මෙය පර්යේෂණාගාර තත්ත්වයන් තුළ, අඳුරු පරිසරයක කරන ලද පර්‌යේෂණයක් බව ද සඳහන් වේ. මෙයට කලින් කරන ලද පර්යේෂණයන් තුළින් අනාවරණය වී තිබුණේ ඉහත කී ආකාරයේ පෘෂ්ඨයන් මත වයිරසයට පැවතිය හැක්කේ දින දෙකක් හෝ තුනක් වැනි කාලයක් පමණක් බව ය.
කෙසේ වෙතත් මෙම ඔස්ට්‍රේලියානු පර්‌යේෂණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් ඇතැම් වයිරසවේදීහු බොහෝ සැක සංකා පළ කරති. ඇතැමුන් පවසන්නේ මෙය ජනතාව තුළ අනියත බියක් ඇති කරන්නක් බවයි. පර්යේෂණාගාර තත්ත්වයන් තුළ ඉහත කී තත්ත්වය ඇති විය හැකි වුව ද සැබෑ පරිසරය තුළ වයිරසය එතරම් කාලයක් ක්‍රියාකාරීව පවතින බවට සාක්‍ෂි නොමැති බව ඔවුහු පෙන්වා දෙති. සැබෑ තත්ත්වයන් තුළ වයිරසය මෙවැනි පෘෂ්ඨයන් මත පතිත වන්නේ මිනිසුන් කහින විට, කිවිසුම් අරින විට පිටවන කෙළ, සෙම්, සොටු ආදිය ද සමගිනි. වයිරස අක්‍රිය කළ හැකි සංඝටක සෙම් සොටු ආදියෙහි පවතින නිසා එවැනි දේ සමග පිටවන වයිරසවලට වැඩි කාලයක් පිටත පෘෂ්ඨයන් මත පැවතිය නොහැකි බව වයිරසවේදියකු වන මහාචාර්ය රොන් එක්ල්ස් පෙන්වා දී තිබේ.
කෙසේ හෝ වේවා, උෂ්ණත්වය වැඩි පරිසරයන් තුළ වයිරසය ට වැඩි කාලයක් පැවතිය නොහැකි බව ද ඉහත කී ඕස්ට්‍රේලියානු පර්‌යේෂණයෙන් අනාවරණය වී තිබේ. සෙන්ටිග්‍රේඩ් අංශක 40 තරම් උෂ්ණත්වයක දී වයිරසය ක්‍රියාකාරීව පවතින්නේ උපරිම වශයෙන් පැය 24 ක පමණ කාලයක් බව එයින් හෙළි වී ඇත. දින 28 ක කාලයක් එයට ක්‍රියාකාරීව පැවතිය හැකි බව සඳහන් වන්නේ අඳුරු සහ සෙන්ටිග්‍රේඩ් අංශක 20 ක පමණ උෂ්ණත්වයක් ඇති පරිසරයක ය.