29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්මාෆියාව සතුටු කරනවා වෙනුවට ආණ්ඩුව ජනතාවට සහන දෙන්න ඕනෑ. ජ.වි.පෙ.දේශපාලන මණ්ඬල සභික...

මාෆියාව සතුටු කරනවා වෙනුවට ආණ්ඩුව ජනතාවට සහන දෙන්න ඕනෑ. ජ.වි.පෙ.දේශපාලන මණ්ඬල සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි.

මාෆියාව සතුටු කරනවා වෙනුවට ආණ්ඩුව ජනතාවට සහන දෙන්න ඕනෑ බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඬල සභික සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළේය.

එම පක්ෂයේ බත්තරමුල්ල පිහිටි එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළේය.ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය………….
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා
කොවිඞ් වසංගතය හමුවේ සංචරණ සීමා පනවා තියෙන අතර අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ඖෂධවල මිල ඉහළ යාම සම්බන්ධයෙන්, ආණ්ඩුව ජනතාවගේ සහන කප්පාදු කිරීම පිළිබඳව කරුණු පැහැදිලි කරන්න මෙම මාධ්‍ය හමුව පවත්වනවා. අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාමට ඩොලරයේ අගය වැඩිවීම, රුපියල බාල්දු වීම සහ ආනයනය සීමා පැනවීම වගේම ආර්ථිකයේ පසුබෑම වැනි කරුණු ආණ්ඩුව විසින් දක්වනවා. පොදුවේ දකින්න ලැබෙන කරුණු මේ තත්වයේ තිබුණත් එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහල යාම දරාගන්න බැරිවී තිබෙන්නේ මේ හේතු නිසාම නෙවෙයි. ජනතාව පවතින තත්වයන් බාරගන්න ඕනෑ බව ආණ්ඩුව පවසනවා. පාරිභෝගික කටයුතු ඇමතිවරයා ප්‍රකාශ කරන්නේ මේ මොහොතේදී උත්තරයක් නැහැ කියලා. මෙතරම් පීඩනයක් ජනතාවට තිබියදී වගකිව යුතු අමාත්‍යවරුන් කරන ප්‍රකාශ දිහා බැලුවාම ආණ්ඩුවේ ක්‍රියාමාර්ගය පැහැදිලියි.
සීනි සම්බන්ධයෙන් විශේෂයෙන්ම 2020 නොවැම්බර් 16 ගැසට් නිවේදනයක් නිකුත් කළා. තොග මිල රු. 80ක් සහ උපරිම සිල්ලර මිල රු. 85ක් නියම කළා. නමුත් මේ අතර සීනි ආනයනය කිරීමේ කිලෝවක බද්ද රු. 50 සිට ශත 25 දක්වා අඩු කළා. මෙතැන රු. කෝටි 1,500කට වැඩි බදු වංචාවක් සිදුවුණා. අපි ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළා. ඒ වෙනකොට මෙ.ටොන් 90,000ක් ගෙනත් තිබුණා. මැයි මාසය දක්වා මිල වැඩිවීමක් නොවන බව බන්දුල ගුණවර්ධන ඇමතිවරයා ප්‍රකාශ කළා. ආනයනකරුවන් සමග වෙළඳ ඇමතිවරයා විල්මා ආයතනය ඇතුළුව 12දෙනෙකු සමග විතරක් ගිවිසුම් අත්සන් කළා. නමුත් ඒ වෙනකොට 65 දෙනෙකු ආනයනය කිරීමේ යෙදී හිටියා. නමුත් මැයි මාසයෙන් පස්සේ සීනි මිල වේගයෙන් වැඩිවී අද රු. 240ක් ඉක්මවා තිබෙනවා. උපරිම මිල සීමාව අප්‍රේල් මාසයෙන් අවසන් වුණා. වෙළඳ ඇමතිවරයා කීවේ සීනි හිඟයක් නැති නිසා ප්‍රශ්නය ඉවරයි කියලා. දැන් පාරිභෝගික කටයුතු ඇමතිවරයා කියන්නේ රු. 100කින් මිල වැඩිවුණත් කරන්න දෙයක් නැහැ කියලා. මේ රටේ ජනතාව වෙනුවෙන් සහන දෙන්න තිබියදී බදු වංචා කරලා කිහිප දෙනෙක් අතර ඒකාධිකාරයක් පිහිටුවන්න ආණ්ඩුව ඉඩ දීලා. සහල් වෙළඳපොළේ තියෙන්නේ ආණ්ඩුවේ ගජ මිතුරන්ගේ ඒකාධිකාරයේ ප්‍රතිඵලයි. ගොවි ජනතාවත් පාරිභෝගිකයත් අසරණ කරලා තියෙන්නේ. සාමාන්‍ය ජනතාව පරිභෝජනය කරන රතු කැකුළු සහල් කිලෝ එකක් 115ක විතර ඉඳලා විවිධ වර්ගවල සහල් රු. 200 දක්වා මිල වැඩිවෙලා.
වෙළඳපොළේ මිල වැඩිවන අවස්ථාවල දේශීය නිෂ්පාදකයන්, දේශීය කර්මාන්ත දියුණු කරන්න සමහර ඇමතිවරු කතා කරනවා. කන්තලේ සීනි කර්මාන්ත ශාලාව ආරම්භ කළෙත් ඒ විදිහට. ඊට පස්සේ මොනවාද සිද්ධ වුණේ? සැමන් කර්මාන්ත ශාලාත් එහෙමයි. අනෙක් පැත්තෙන් සැමන් සහ පරිප්පු සහනාධාර මිලට දෙනවා කියලා අද මොකද වෙලා තියෙන්නේ? අද දිනපතාම සියලුම අත්‍යාවශය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යනවා. රු. 150ට තිබුණු අල කිලෝ එක රු 200 සහ ලංකා අල කිලෝව 250 දක්වා ඉහළ ගිහින්. ලොකු ලූණු කිලෝ එක රු 130යි. 340ට තිබුණු හාල් මැස්සෝ කිලෝව රු. 1100 විතර දක්වා වැඩිවෙලා. වියළි මිරිස් 650යි. රු. 380ට තිබුණු පොල් තෙල් ලීටරය අද 750යි. අද කිරිපිටි හිඟයක් ඇතිවෙලා තියෙනවා. ඒ වගේම එළවළු සියලුම වර්ගවල මිල ගණන් දිනපතා ඉහළ යනවා. අද ආදායම් මාර්ග අහිමි වී, නිරෝධායනයට ලක්වී, නිරෝධායන ඇඳිරි නීතියට ලක්වී ඉන්න ජනතාව මුහුණ දෙන ජීවන වියදම් ගැටලු ගෑස් මිල, ඉන්ධන මිල, පාන් සහ බනිස් මිල ඇතුළු අත්‍යවශ්‍ය හැම දේකින්ම වේගයෙන් වැඩිවෙලා. ආදායම් මාර්ග නැතිවීම, පඩි වැඩිවීම් නැතිවීම, පවතින පසුබිමක පුංචි බිස්කට් පැකට් එකක පවා මිල රු. 10කින් විතර සතිපතා වැඩිවෙමින් තිබෙනවා.
මේ අතර ඖෂධවල උපරිම මිල තීරණය කරල අගෝස්තු 19වැනිදා ගැසට් එකක් නිකුත් කළා. ගැසට් නිකුත් කරන්න ඕනෑ පවතින මිලට වඩා අඩු මිලකට ලබාදෙන්න. නමුත් සිදුවී තිබෙන්නේ කොවිඞ් වසංගත තත්වය තුළ පවා අනෙකුත් ලෙඩ රෝගවලට ඖෂධ ගන්න බැරි තත්වයක් ඇතිවී තිබීමයි. ඖෂධ නාමයෙන් මිල තීරණය කර තිබෙන අතර වෙළඳපොළේ වෙළඳ නාමයන් යටතේ විශාල වැඩි මිලකට ඖෂධ විකුණනවා. නමුත් ගැසට් නිවේදනයෙන්ම ඖෂධ නාමයේ මිල ගණන් වැඩි කරලා තියෙන්නේ. අධි රුධිර පීඩනයට ගන්නා ලොසාටන් පොටෑසියම් මිලි ග්‍රෑම් 25 රු. 4 ඉඳලා 9.62 දක්වා වැඩි කරලා. ඒවගේම මිලිග්‍රෑම් 50 රු. 7 ඉඳලා 13.49 දක්වා වැඩි කරලා. ඒ වගේම කොලොස්ටරෝල්වලට ගන්නා ඇටෝවාන්ටැටීන් මිලි ග්‍රෑම් 10 රු. 4.50 ඉඳලා 14.60 දක්වා වැඩි කරලා. ඒ වගේම මිලි ග්‍රෑම් 20 ර.ැ 7.50 ඉඳලා 23 දක්වා වැඩි කරලා. දියවැඩියාවට ලබාගන්නා මෙට්ෆෝමින් මිලි ග්‍රෑම් 500 රු. 3.20 ඉඳලා 5.17 දක්වා වැඩි කරලා. ඒ වගේම ග්ලික්ලසයිඞ් මිලි ග්‍රෑම් 80 රු. 5 ඉඳලා 14.80 දක්වා වැඩි කරලා. ගැස්ටි්‍රක්වලට ලබාගන්නා ඔමෙප්‍රසොල් මිලිග්‍රෑම් 20 රු. 4.80 ඉඳලා 5.89 දක්වා වැඩි කරලා. ඒ වගේම පැන්ටොප්‍රසෝල් මිලි ග්‍රෑම් 30 රු. 3.50 ඉඳලා 22.25 දක්වාත් එම මිලි ග්‍රෑම් 40 රු. 4.50 ඉඳලා 36.65 දක්වාත් වැඩි කරලා. ආණ්ඩුවේ ගජ මිතුරන් සතුටු කරන්න වැඩ කරලා තියෙන්නේ මේ ආකාරයටයි. අපි කියන්නේ ආණ්ඩුව මේ මාෆියාව සතුටු කරනවා වෙනුවට ජනතාවට සහන දෙන්න ඕනෑ කියලා. ගැසට් නිවේදන නිකුත් කරන්න ඕනෑ සහන ලබාදීම වෙනුවෙන්. අත්‍යවශ්‍ය භාණ්ඩ වගේම අත්‍යවශ්‍ය ඖෂධ මිල වැඩිකරලා ආණ්ඩුව ජනතාවගෙන් පළි ගන්නා බවයි අපිට දකින්න තියෙන්නේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments