21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ආරක්ෂක පුවත්හතර වන වේග ප්‍රහාරක බලඝණ මූලස්ථානයේ ඉදිකළ රණවිරු ස්මාරකය නිරාවරණය කෙරේ.

හතර වන වේග ප්‍රහාරක බලඝණ මූලස්ථානයේ ඉදිකළ රණවිරු ස්මාරකය නිරාවරණය කෙරේ.

දශක තුනකට ආසන්න කාලයක් මෙරට වෙලා පැවති ත්‍රස්තවාදය මානුෂීය මෙහෙයුමකින් විජයග්‍රහණය කිරීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් දායක වූ නාවික හමුදා හතරවන වේග ප්‍රහාරක බලඝණයේ විරෝධාර රණවිරුවන් අනුස්මරණය කිරීම උදෙසා ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගණයේ හතරවන වේග ප්‍රහාරක බලඝණ මූලස්ථානයේ ඉදි කරන ලැබු අභිනව රණවිරු ස්මාරකය (30) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් නිරාවරණය කෙරිණි.

එල්ටීටීඊ ත්‍රස්තවාදය මානුෂීය මෙහෙයුමකින් අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා හතරවන වේග ප්‍රහාරක බලඝණය සුවිශාල දායකත්වයක් දක්වූයේය. එල්ටීටීඊයේ මුහුදු ත්‍රස්ත ක්‍රියාකාරකම් හමුවේ මුහුදේ සතුරු බලය අභිබවමින් උතුරු නැගෙනහිර මුහුදු සංචරණ කටයුතු අඛණ්ඩව පවත්වාගැනීම සඳහා හතරවන වේග ප්‍රහාරක බලඝණය ප්‍රභල ප්‍රහාරක බලඝණයක් ලෙස පරිවර්ථනය කිරීමට එම බලඝණයේ පුහුණු නිලධාරී ලෙස වත්මන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සක්‍රීයව දායක විය. එමෙන්ම, 2006 වර්ෂයේ පෙබරවාරි 01 වන දින සිට 2007 වර්ෂයේ ජූලි මස 22වන දින දක්වා එම බලඝණයේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කරමින් සතුරු ප්‍රහාරක බලය විනාශ කිරීම සඳහා හතරවන වේග ප්‍රහාරක බලඝණය වෙත සුවිශේෂී නායකත්වයක් ලබා දුන්නේය.

ඒ අනුව, විවිධ වේග ප්‍රහාරක යාත්‍රාවන්ට අනුයුක්තව එල්ටීටීඊයේ සතුරු මුහුදු ප්‍රහාරක බලය මැඩපැවැත්වීම සඳහා සිදුකළ අඛණ්ඩ ක්‍රියාන්විතයන්හීදී සතුරාට එරෙහිව ප්‍රභල ප්‍රහාර එල්ල කරමින් අභීතව සටන් වැද මාතෘභූමියේ උත්තරීතර නිදහස වෙනුවෙන් දිවි පිදූ හතරවන වේග ප්‍රහාරක බලඝණයේ විරෝධාර රණවිරුවන් 259 දෙනෙකු අනුස්මරණය කිරීම වෙනුවෙන් ඔවුන්ගේ නම් ඇතුලත් කර මෙම රණවිරු ස්මාරකය ඉදිකළහ.
මෙම රණවිරු ස්මාරකය අද නිරාවරණය කළ නාවික හමුදාධිපති එම ස්මාරකය වෙත පුෂ්පෝහාර පුද කර දේශයේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ හතරවන වේග ප්‍රහාරක බලඝණයේ අභීත රණවිරුවන් අණුස්මරණය කර සිය ආචාරය පුද කිරීමට කටයුතු කෙරිණි.
පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සංවිධානය කර තිබූ මෙම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සංජීව ඩයස්, නාවික දියත් විධානයේ ධජ නිලධාරි රියර් අද්මිරාල් සජිත් ගමගේ, හතරවන වේග ප්‍රහාරක බලඝණයේ අණදෙන නිලධාරී කපිතාන් රාජප්‍රිය සේරසිංහ සහ නැගෙනහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු සීමිත පිරිසක් සහභාගී වී සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments