29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කිරීමට හේතුව දන්නේ වත්මන් රජය පමණයි

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කිරීමට හේතුව දන්නේ වත්මන් රජය පමණයි

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වර්තමාන රජය හදිසියේම නතර කිරීමට හේතු දන්නේ ඔවුන්ම පමණක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කරන්නේ එම ව්‍යාපෘතිය නතර කිරීම සම්බන්ධයෙන් ජපාන අගමැති යොෂිහිදේ සුගා වෙත ලිපියක් යොමු කරමිනි.

එම ලිපියේ මෙසේද සඳහන් වෙයි.

වගකීම් සහගත ජනතා නායකයෙකු වශයෙන් සහ ජපන් මූල්‍ය සහයෝගීතාව මත ඉදිකිරීමට නියමිතව තිබූ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතියේ (LRT) ආරම්භකයා මෙන්ම එම ව්‍යාපෘතිය භාරව ක්‍රියා කළ ශ්‍රී ලංකා රජයේ අමාත්‍යවරයා වශයෙන්, ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය උදෙසා මෙතෙක් සිදුකළ වඩාත් ඉහළම බලපෑම් සහගත උපායමාර්ගික වශයෙන් විචක්ෂණශීලී සහ මූල්‍ය වශයෙන් වඩාත්ම ලාභදායක ව්‍යාපෘතිය වර්තමාන රජය විසින් නතර කිරීමට ගනු ලැබූ තීරණය නිසා ජපන් රජයට සහ ජපානයේ ජනතාවට සිදුවූ අපහසුතාව සම්බන්ධයෙන් මාගේ සහ ශ්‍රී ලංකාවේ ජනතාවගේ කනගාටුව ඔබතුමන් වෙත පළකරමි.

ශ්‍රී ලංකාව ක්‍රමිකව වර්ධනය වෙමින් පවතින රථවාහන තදබදය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටියි. 2016 වර්ෂයේදී සිදුකරන ලද සමීක්ෂණයකට අනුව අප රටෙහි ප්‍රවාහනය වෙනුවෙන් දරන්නා වූ ජාතික පිරිවැය දළ දේශීය නිෂ්පාදිතයෙන් 12%ක තරම් වූ ඉහළ අගයක් පසුකරමින් ඉතා දරුණු අර්බුදයක් දෙසට ගමන් කරමින් ඇත. මෙය 1990 දශකයේදී ආසියාවේ බොහෝ ආර්ථිකයන් මුහුණ දුන් ආකාරයේ දරුණු ආර්ථික පසුබෑමකට හේතුවිය හැකි කරුණක් බවට පත්වෙමින් තිබේ. මෙම තත්ත්වයට පිළියමක් සෙවීම පිණිස ජපානයේ ජයිකා(JICA) ආයතනයේ මූල්‍ය දායකත්වය මත 2008 – 2012 වර්ෂයන්හිදී සිදුකළ සමීක්ෂණයකට අනුව බස් ප්‍රමුඛතා මන්තීරු ක්‍රමය (BRT), බස් නව්‍යකරණ වැඩපිළිවෙළ, දුම්රිය විදුලියෙන් ධාවනය වන ආකාරයට නවීකරණය කිරීම, දුම්රිය ද්විත්ව මාර්ග සංවර්ධනය සහ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘති ආරම්භ කිරීම යන සමෝධානික උපායමාර්ගික වැඩපිළිවෙළක් යෝජනා කරන ලදී.

ශ්‍රී ලංකා රජයේ මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ සහ ජපානයේ ජයිකා ආයතනයේ සහයෝගීතාව මත වසර දෙකක කාලයක් තුළදී සියලුම ශක්‍යතා අධ්‍යයන, ණය ගිවිසුම් සකස් කිරීම සහ ව්‍යාපෘති ආරම්භය කාර්යක්ෂමව සිදුකිරීමට හැකියාව ලැබුණු අතර එය ජයිකා ආධාර යටතේ ලෝකයේ සිදුකළ වේගවත්ම ව්‍යාපෘති ආරම්භය ලෙස සැලකේ. 2024 වනවිටදී පැයකට මගීන් 30,000කට සේවය සපයමින් කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීමේ මූලික පරමාර්ථය සහිතව මෙම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පැවතිණි.

ජපානය පසුගිය වසර 70 පුරාම ශ්‍රී ලංකාවේ හොඳ මිත්‍රයෙකු විය. ජපානය දීර්ඝ කාලයක් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංවර්ධන සහකරු බවට පත්වූ අතර අන්තර් ජාතික වශයෙන් අනිසි දේශපාලනික හෝ ආර්ථික බලපෑම්වලින් තොරව එම සහාය අප වෙත ලබාදෙන ලදි. දෙරටේ ජනතාව සෑම විටකදීම පාහේ එකිනෙකා කෙරෙහි ඉතාමත් ඉහළ මිත්‍රශීලීභාවයක් සහ ගෞරවයක් පවත්වාගෙන යන ලදි. එවන් තත්ත්වයක් යටතේ මෙම ව්‍යාපෘතිය නතර කිරීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ගනු ලැබූ තීන්දුව හේතුවෙන් ජපාන රජයට සහ එහි ජනතාවට යම් හෝ අපහසුතාවක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන් මාගේ කනගාටුව ප්‍රකාශ කරමි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments