පාස්කු ප්‍රහාරයේ වගකීම භාරගන්නේ නම් මලල්ගොඩ කමිටු වාර්තාව වෙනස් කරන්නම් යැයි තමන් කිසිඳු අවස්ථාවක හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට නොපැවසූ බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙරේදා (17 වැනිදා) සිව්වන දිනටත් සාක්ෂි දෙමින් පැවසීය. එසේම යහපාලන රජයේ පැවැති අභ්‍යන්තර අර්බුද හේතුවෙන් රට තුළ ගොඩනැගී තිබූ අස්ථාවරත්වය පාස්කු ප්‍රහාරයට බලපෑ බවට ඇතැමුන් චෝදනා එල්ල කළ ද තමන් කිසිසේත්ම එය පිළිනොගන්නා බව ද හිටපු ජනාපතිවරයා කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.
ප්‍රහාරයට පෙර අප්‍රේල් මස 16 වැනි දින තමන් විදේස ගතවීමේදී වැඩබලන ආරක්ෂක ඇමැතිවරයෙකු පත් නොකළද අනෙකුත් නිලධාරීන්ට රාජකාරී පැහැරහැරීමට නොහැකි බවත්, නාමල් කුමාර නමැති පුද්ගලයෙකු තමා නොදන්නා බවත් හිටපු ජනපතිවරයා කොමිසම ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කීය.
මෙදිනද අතිරේක සොලිසිටර් ජනාරාල්වරිය හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේනගෙන් සාක්ෂි විමසීම සිදු කළාය.
අ.සො.ජ. – මාවනැල්ල බුදු පිළිමවලට පහරදීම, වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය සොයාගැනීම සහ සහරාන් ජිහාඩ් මතවාදය දරනවා යැයි බුද්ධි අංශ වාර්තා කර තිබියදීත් 2019 අප්‍රේල් 16 වන දින ඔබ විදෙස් ගතවීමේදී වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයෙකු පත් නොකිරීම වරදක් නොවේද?
හිටපු ජනපති – මම විදෙස් ගතවන අවස්ථාව වන විට ඔය කියන සිදුවීම් වෙලා තිබුණට රට තුළ ත්‍රස්තවාදී ක්‍රියාකාරකමක් සිදුවෙයි කියලා කවුරුත් අනතුරු අඟවලා තිබුණේ නැහැ. එහෙම වටපිටාවක් පැවතියේත් නැහැ. තිස් වසරක යුද්ධයේ අවසන් සමයේ නන්දිකඩාල් සටන සිදුවෙද්දී වැඩබලන ආරක්ෂක ඇමැති හැටියට හිටියේ මම. ඒ වෙලාවේ ත්‍රිවිධ හමුදාව හෝ බුද්ධි අංශ ප්‍රභාකරන්ට ගහන්න ඕනෙද නැද්ද කියන එක මගෙන් ඇහුවේ නැහැ. ඒ ඒ අයට අවේණික යුතුකම් සහ වගකීම් තිබුණා ඒවා ඒ අය ඉෂ්ට කළා. අනික ඒ කාලේ ජාතික ආරක්ෂක කවුන්සලය රැස්වුණෙත් නැහැ. අන්න ඒ වගේ තමයි පාස්කු ප්‍රහාරය සිද්ධ වුණ අවස්ථාවත්. 2015 ඉඳලා මම අන්තවාදය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග ගැන උපදෙස් දීලා තිබුණා. ඉතිං ඒ අය ක්‍රියාත්මක විය යුතුව පැවතියා. මම දේශපාලනඥයෙක්. මම පොලිස් පුහුණුවක් හෝ හමුදා පුහුණුවක් ලබලා තිබුණේ නැහැ. ඒ නිසයි මම උපදෙස් දීලා තිබුණේ බුද්ධි සම්බන්ධීකරණ රැස්වීමේදී තීරණ අරන් අත්‍යවශ්‍යම දෙයක් තිබුණොත් ජාතික ආරක්ෂක කවුන්සලයට ගේන්න කියලා. ඒ නිසා වැඩබලන ආරක්ෂක ඇමැති කෙනෙක් පත් නොකළා කියලා අනෙක් නිලධාරීන්ට තමන්ගේ රාජකාරි පැහැර හරින්න බැහැ.
අ.සො.ජ. – ඔබ යම් හෙයකින් වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයෙකු පත්කර තිබුණේ නම් හෙට හෝ ඊට පෙර ප්‍රහාරයක් එල්ල විය හැකි යැයි අප්‍රේල් 20 දින පස්වරුවේ විදෙස් බුද්ධි අංශයකින් තොරතුරක් ලද අවස්ථාවේ හදිසි නීතිය ප්‍රකාශයට පත්කර හමුදා නිලධාරින් යොදවා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකියාවක් තිබුණා නේද?
හිටපු ජනපති – මේ තොරතුරු ඉස්සෙල්ලාම ලැබුණේ 20 නෙමේනේ. ඊට කලින් මේ විදෙස් බුද්ධි තොරතුර ලැබිලා තියෙනවා. මුලින්ම ලැබුණම ආරක්ෂක ලේකම්, පොලිස්පති හරි කාටහරි මේ තොරතුර මට දැනුම් දෙන්න තිබ්බා. මම ලංකාවේ හිටියේ නැත්තම් ජනාධිපති ලේකම්ට දැනුම් දෙන්න තිබ්බා. මොකද ජනාධිපති ලේකම්ට දැනුම් දුන්නා නම් ඔහු මට ක්ෂණිකව පණිවුඩ දෙනවා. මෙතැන වැරැද්ද දැනුම් දුන්නේ නැති එක. මොකද හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ලේඛන සකස් කරන්නෙත් ජනාධිපති ලේකම්.
කොමිසම – ඔබගේ පාලන කාලය තුළ අභ්‍යන්තරව රජයේ පැවති ගැටලු නිලධාරීන් තීරණ ගැනීමේදි මැළිකමක් දැක්වීමට බලපෑම් ඇති කළේද?
හිටපු ජනපති – එහෙම වෙන්න බැහැ මොකද ඔය පාස්කු ප්‍රහාරය වෙද්දී රජය ආයෙත් නියමිත ලෙස පවත්වාගෙන ගියා. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පස්සේ හිටපු අග්‍රාමාත්‍යවරයාම නැවත පත්වෙලා. කැබිනට් මණ්ඩලයක් පත්වෙලා සාමාන්‍ය විදිහට සියල්ල කෙරීගෙන ගියා.
අ.සො.ජ. – අප්‍රේල් 21 පාස්කු ඉරුදින මුල්ම බෝම්බ ප්‍රහාර කිහිපය එල්ල වුණාට පස්සේ රටේ දෙවැනි පුරවැසියා වුණු එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ රැස්වීමක් කැඳවලා තියෙනවා. නමුත් ඔබ එම රැස්වීමට නොයන ලෙස ජනාධිපති ලේකම්වරයා, ආරක්ෂක ලේකම්වරයා සහ නිලධාරීන්ට උපදෙස් දීලා තියෙනවා කියලා මේ කොමිසම හමුවේ සාක්ෂි ඉදිරිපත් වෙලා තියෙනවා. ඇයි එහෙම යන්න එපා කිව්වේ?
හිටපු ජනපති – නැහැ ස්වාමිනි. මම එහෙම උපදෙස් දුන්නේ නැහැ. මම කිව්වේ එකතුවෙලා වැඩ කරන්න කියලා.
අ.සො.ජ. – හිටපු ජනාධිපතිතුමනි නුවරඑළිය ශාන්තිපුර ප්‍රදේශයේ සහරාන් හෂීම් සහ අනුගාමිකයන් පැවැත් වූ පුහුණු කඳවුරක් පිළිබද අසල්වාසියෙකු පොලිසියට දැනුම් දුන්නත් පොලිසිය එම අන්තවාදීන් පිරිස අත්අඩංගුවට ගැනීමට කටයුතු කර නොමැති බවට සාක්ෂි ලැබී තිබෙනවා. නමුත් ඔබ දිගින් දිගටම කියනවා අන්තවාදීන්ට එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ග ගැන ඔබ වගකිවයුතු අංශවලට උපදෙස් දුන්නා කියලා මේ ගැන පැහැදිලි කරන්න?
හිටපු ජනපති – මම කාටවත් චෝදනා කරනවා නෙමේ. නමුත් මේ සමස්ථ සිදුවීම් මාලාවටම හේතුවෙලා තියෙන්නේ නිලධාරීන්ගේ වගකීම් පැහැර හැරීම කියන එකයි මම කියන්නේ.
අ.සො.ජ. – ඔය කියන්නේ ඔබ කොපමණ උපදෙස් දුන්නත් ඒ උපදෙස් ක්‍රියාත්මක නොවුණා කියන එකද?
හිටපු ජනපති – ඔය දුර්වලතා ස්වාමිනි එදා ඉඳලම ඔය අංශවල තියෙනවා. අද ඊයේ ඉඳලා තියෙන ඒවා නෙමෙයි.
අ. සො. ජ. – ඔබ එම උපදෙස් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් පියවර ගත්තාද?
හිටපු ජනපති – රාජ්‍ය නිලධාරීන්ගේ තියෙන වගකීම් ඉටුනොකිරීම්, දුර්වලතාවන් සහ අතපසුවීම්වලට දඬුවම් දුන්නානම් මේ රටේ රාජ්‍ය සේවකයෝ කොතරම් ඉතුරු වෙයිද කියන එකත් ප්‍රශ්නයක්.
අ.සො.ජ. – නීතිය හා සාමය විෂය ඔබ යටතට ගැනීමෙන් පසු සහරාන් යට ගිහින් නාමල් කුමාර උඩ ආවා යැයි මම යෝජනා කළොත් ඔබ එය පිළිගන්නාවද?
හිටපු ජනපති – ඒ කථාව මම කොහෙත්ම පිළිගන්නේ නැහැ ස්වාමිනි. මොකද නාමල් කුමාර කියලා කෙනෙක් ගැන ජාතික ආරක්ෂක කවුන්සලයේදි කතා කරලාවත් නැහැ. එවකට පොලිස්පති පූජිත් ජයසුන්දරයි ඔය සිද්ධිය ගැන විමර්ශනය කරපු නාලක ද සිල්වායි දවසක් මාව හම්බෙන්න ආවා. නමුත් මම නාමල් කුමාර කියලා කෙනෙක්ව දන්නෙත් නැහැ, දැකලත් නැහැ, කතා කරලත් නැහැ.
අ.සො.ජ. – එසේනම් ඔබගේ පාලන කාලයේ ජාතික ආරක්ෂව කියන මාතෘකාව යටගොස් මත්ද්‍රව්‍ය මැඩලීම්, මාකදුරේ මධූෂ් ලංකාවට ගෙන ඒම වගේ දේවල්වලට ප්‍රමුඛතාව දුන්න කිව්වොත් ඔබ එය පිළිගන්නවාද?
හිටපු ජනපති – නැහැ. එය මම කොහෙත්ම පිළිගන්නේ නැහැ. අපි ජාතික ආරක්ෂක කවුන්සලයේදි ප්‍රමුඛතාව දුන්නේ ජාතික ආරක්ෂාව ගැන විතරයි. ඊට අමතරවයි මත්ද්‍රව්‍ය මැඩලීම්, මාකදුරේ මධූෂ් ලංකාවට ගෙන ඒම් ගැන කතා කළේ.
අ.සො.ජ. – අන්තවාදින්ට එරෙහිව ක්‍රියාත්මක වෙන ලෙස ඔබ කැබිනට් මණ්ඩලයේදී මුස්ලීම් අමාත්‍යවරුන්ට උපදෙස් දුන්නා කියලා ඔබ මේ කොමිසම හමුවේ කිව්වා. නමුත් පසුගියදා ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි දුන්න කබීර් හෂීම් කිව්වා ඔබ එවැනි උපදෙස් දීමක් කළේ නැහැ කියලා. අවම වශයෙන් එතුමාගේ සම්බන්ධීකරණ නිලධාරියෙකු වූ තස්ලීම් නමැත්තාට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු කබීර් හෂීම් ඔහුගේ ආරක්ෂාව වැඩි කරන ලෙස ඔබව හමුවී ඉල්ලීමක් කළත් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ කියලා කබිර් හෂීම් සාක්ෂි දෙමින් කියා
සිටියා ?
හිටපු ජනපති – මම කැබිනට් මණ්ඩලයේදි අන්තවාදය ගැන කතා කළේ නැහැ කියලා කියනවානම් කබීර් හිටපු ඇමැතිතුමා කැබිනට් රැස්වීම් වලට එන්නේ නැතුව ඇති. ඔය කියන සම්බන්ධීකරණ නිලධාරියාට වෙඩි තැබීමේ සිද්ධියේදිත් කබීර් හිටපු ඇමැතිතුමාගේ ආරක්ෂාව වැඩි කරන්න කියලා මම පොලිස්පතිවරයාට සහ ප්‍රදේශ භාර නිලධාරීන්ට උපදෙස් දුන්නා. එහෙම ආරක්ෂාව නොලැබුණානම් ඒක මගේ වරදක් නොවේ. නිලධාරීන්ගේ වැඩක්.
අ.සො.ජ. – ඔබ පාස්කු ප්‍රහාරයෙන් පසු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට කිව්වද, පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ වගකීම ඔහු භාර ගත්තොත් මලල්ගොඩ කමිටු වාර්තාව පවා වෙනස් කරන්නම් කියලා?
හිටපු ජනපති – ඒක සම්පූර්ණයෙන්ම අසත්‍යක්. එම කොමිසමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩව තෝරාගත්තෙත් මම නෙමෙයි. ප්‍රහාරය සිදුවුණ දවසේ මම සිංගප්පූරුවේ ඉද්දී එවකට ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්න තමයි ඔය තේරීම කළේ. අනික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රමුඛත්වයෙන් සකස් කරපු වාර්තාවක් වෙනස් කරන්න තරම් මම අඩු දැනුමැති පුද්ගලයෙක් නෙමේ.
අ.සො.ජ. – ඔබ ඔය කුමන කරුණු කිව්වත් අන්තවාදයට එරෙහිව කටයුතු කිරීමට ජාතික ආරක්ෂක කවුන්සලය නිසි අවධානය යොමු නොකළ නිසා ඉකුත් වසරේ අප්‍රේල් 21 මේ බෝම්බ පිපිරීම් මාලාව සිදුවුණා යැයි කොමිසමට සාක්ෂි ඉදිරිපත් වී ඇත්නම් ඔබ එය පිළිගන්නවාද?
හිටපු ජනපති – නැහැ. මම එය සම්පූර්ණෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මෙතන වෙලා තියෙන්නේ ලද තොරතුරු අනුව අදාළ අංශ ක්‍රියාත්මක නොවීම.
කොමිසම – ඔබ විදෙස් ගතව ඉද්දීත් මෙරට පුවත්පත් කියවීම සිදුකරනවාද..?
හිටපු ජනපති – ඔව්, මම සමාන්‍යයෙන් කියවනවා. නමුත් මෙවර ප්‍රතිකාර සඳහා ගිය නිසා පුවත්පත් කෙරෙහි අවධානය යොමු වුණේ නැහැ.
කොමිසම – නැහැ. එහෙම ඇහැව්වේ අප්‍රේල් 16 යතුරුපැදියක් පුපුරුවා සහරාන්ලා කළ පෙර පුහුණුව ගැන ඔබතුමා පුවත්පතක් කියවලා හරි දැනුවත් වුණාද බලන්න?