29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeවිශේෂාංගකැනේඩියානු පාර්ලිමේන්තුවට ගිය අපේ දරුවෝ.

කැනේඩියානු පාර්ලිමේන්තුවට ගිය අපේ දරුවෝ.

අනුර බී. සෙනෙවිරත්න ලියයි.

1978-2008 අතර ශ්‍රී ලංකාවේ පැවති තිස්වසරක සිවිල් යුද සමයේ දී එම ජනවාර්ගික ආතතීන් නිසා ශ්‍රී ලංකාවෙන් සහ ඉන්දියාවෙන් එරටට පලාගිය ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයන් දෙමළ කැනේඩියානුවන් ලෙස ද, ඔවුන්ගෙන් පැවත එන්නන් කැනේඩියානු දෙමළ ජාතිකයන් ලෙස ද හඳුන්වනු ලැබේ. කැනඩාවේ වෙසෙන දෙමළ ඩයස්පෝරාවේ වැඩි කොටසක් එලෙස කැනඩාවට සංක්‍රමණය වූවන් සහ එසේ සංක්‍රමණයවූවන්ගෙන් පැවත එන්නෝ වෙති.  
ඊට අමතරව, ආර්ථික හේතූන් මත ඉන්දියාව, සිංගප්පූරුව සහ දකුණු ආසියාවේ වෙනත් ප්‍රදේශවලින් පැමිණි දෙමළ සංක්‍රමණිකයෝ ද  ඒ අතර සිටිති.  1983 වනවිට කැනඩාවේ ටොරන්ටෝ ප්‍රදේශයේ සිටියේ 150කට අඩු දෙමළ ජනගහනයක් වන අතර,  මේ වනවිට එය  එම ප්‍රදේශය තුළ දක්නට ලැබෙන විශාලතම සුළුතර ජනගහනය බවට පත්ව තිබේ.
1991 පැවැති එරට සංගණනයේ දී දක්නට ලැබුණු විශේෂත්වය වූයේ,  ටොරොන්ටෝ නගරයේ වේගයෙන් ම වර්ධනය වන ජනවාර්ගික කණ්ඩායම දෙමළ ජාතිකයන් බව ය. එහි ප්‍රතිඵලය ලෙස 2016 සංගණනයට අනුව එහි වෙසෙන සමස්ත දෙමළ ජනගහනය 157,000 ක් දක්වා වර්ධනය වී ය. එම සංඛ්‍යාව මේ වනවිට 200,000 ඉක්මවා ගොස් තිබේ.
බටහිර ලෝකයේ වෙසෙන විශාලතම දෙමළ ජනගහනය වන්නේ ද, කැනඩාවේ වෙසෙන මෙම දෙමළ ජනගහනය යි. එසේ ම, ආසියාවෙන් පිටත දෙමළ බස කතා කරන විශාලතම ජනගහනයක් වාසය කරන්නේ ද ටොරොන්ටෝවේ බවත්, බෙංගාලි, පන්ජාබි සහ උර්දුවලටත් වඩා වැඩියෙන් කතා කරනු ලබන දකුණු ආසියානු භාෂාව බවට එහි පත්ව ඇත්තේත්,  දෙමළ භාෂාව බවත් 2016 සංගණන වාර්තා සඳහන් කරයි. ටොරොන්ටෝවලට අමතරව කැනඩාවේ දෙමළ ප්‍රජාව වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ වැන්කුවර්, කැල්ගරි, එඩ්මන්ටන් සහ ඔටාවා යන ප්‍රධාන නගරවල ය.  
දශක හතරකට ආසන්න කාලයක් තුළ දෙමළ ඩයස්පෝරාව අත්කර ගත් මෙම වේගවත් ජනගහන වර්ධනය එරට පාර්ලිමේන්තු නියෝජනයක් දක්වා ගෙන යන්නට හැකිව තිබේ. එය දෙමළ කැනේඩියානුවන්ගේ සහ කැනේඩියානු දෙමළ ජාතිකයින්ගේ ජයග්‍රහණයක් පමණක් ම නොවේ.  එය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, මැලේසියාව, සිංගප්පූරුව ඇතුළු ලොව පුරා වෙසෙන සමස්ත දෙමළ ජාතීන්ගේ ම සුවිසල් ජයග්‍රහණයකි.
දෙමළ කැනේඩියානුවන්ට පළමුවරට එරට පාර්ලිමේන්තු නියෝජනයක් හිමිවන්නේ අදින් වසර දහයකට පමණ පෙර එනම්, 2011 වසරේ දී ය. ඒ, එරට නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් දේශපාලනයට පිවිසි කැනේඩියානු දේශපාලනඥයෙකු සහ  ක්‍රියාකාරිණියක වූ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති රාතිකා සිට්සාබෙයිසන් පර්ලිමේන්තුවට තේරීපත් වීමෙනි.
1981 දෙසැම්බර් 23 යාපනයේ දී උපත ලබා ඇති රාතිකා සිට්සාබෙයිසන් තිස්වැනි වියේ දී කැනේඩියානු ෆෙඩරල් පාර්ලිමේන්තුවට තේරීපත් වූ ප්‍රථම දමිළ කාන්තාව බවට ඉතිහාසයට එක්වූවා ය.  කැනඩාවේ ස්කාර්බරෝ-රූජ් රිවර් ප්‍රදේශය නියෝජනය කරමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් 2011 මැතිවරණයට ඉදිරිපත් වන ඇය චන්ද 18,935 ක් ලබා පාර්ලිමේන්තුවට තේරීපත්වන්නේ  ටොරොන්ටෝ ප්‍රදේශයේ ළාබාල ම මන්ත්‍රීවරිය ලෙස ය.
වැඩිමහල් සහෝදරියන් තිදෙනෙකුගෙන් යුත් සිය පවුල සමඟ කැනඩාවට සංක්‍රමණය වන විට ඇය වයස අවුරුදු පහක කුඩා දැරියකි. රාතිකා හැදී වැඩුණේ ටොරොන්ටෝවට බටහිර දෙසින් පිහිටි  මිසිසෞගාවල ය. රැකියා ස්ථානයේ සිදු වූ අනතුරකින් ඇගේ පියා ආබාධිත තත්ත්වයට පත්වීම හේතුවෙන්  හෙද අධ්‍යාපනය හදාරමින් සිටි ඇගේ මවට එය අතහැර තම දරු පවුල රැක ගැනීම සඳහා ගබඩාවක වැඩ කිරීමට පවා සිදුවී ය.
උසස් අධ්‍යාපනය සඳහා ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයට ඇතුළුවන රාතිකා එහි දෙමළ ශිෂ්‍ය සංගමයේ උප සභාපතිනිය ලෙස ද කටයුතු කළා ය. එයින් දෙවසරකට පසු ඇය කාර්ල්ටන් විශ්ව විද්‍යාලයට මාරුවන අතර, එහි දී වාණිජවේදී උපාධිය ලබා ගත්තා ය. අධ්‍යයන කටයුතුවලට අමතරව විවිධ සමිති සමාගම්වල නිලතල දරමින් කටයුතු කළ ඇය, කාර්මික සබඳතා පිළිබඳ පශ්චාත් උපාධියක් ලබාගන්නේ,  කැනඩාවේ ක්වීන්ස් විශ්වවිද්‍යාලයෙනි.
එසේ ම, ඇය 2012 වසරේ දී ‘වසරේ හොඳ ම පෞරුෂත්වය’ වෙනුවෙන් වී.කේ. ක්‍රිෂ්ණ මෙනන් ආයතනය මගින්  පිරිනැමුන සම්මානයෙන් පිදුම් ලැබුවා ය. මෙම සම්මානය ඇයට පිරිනමන ලද්දේ  ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැටලු සඳහා වූ ඇගේ නොපසුබස්නා උත්සාහයන් හේතුවෙනි.
කැනේඩියානු පාර්ලිමේන්තුවට තේරී පත්වන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති තවත් ද්‍රවිඩ ජාතික මන්ත්‍රීවරයකු වන්නේ සත්‍යසංගරී හෙවත් ගැරී ආනන්දසංගරි ය.   නීතිඥයෙකු, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු සහ දේශපාලනඥයෙකු වන ඔහු,  ලංකාවේ ප්‍රමුඛ පෙළේ දෙමළ දේශපාලනඥයෙකු වන වී. ආනන්දසංගරීගේ පුතණුවන් ය.
මව සහ පියා වෙන්වීම නිසා 1980 දී අයර්ලන්තයට යන ඔහුත්, ඔහුගේ මවත් 1983 ජූලි මාසයේ දී නැවත ලංකාවට පැමිණීමට සැලසුම් කළ හ. එහෙත්, කළු ජූලියේ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් එම සැලසුම වෙනස් කළ ඔවුහු, 1983 අගෝස්තු 31 දින කැනඩාව බලා ගියෝ ය.  තවමත්  පියාගෙන් දුරස්ව සිටින ගැරී ආනන්දසංගරීට 1983 න් පසුව තම පියා හමුවී ඇත්තේ දෙවතාවක් පමණි.
උසස් පාසල් අධ්‍යාපනය අවසන 1996 දී කාර්ල්ටන් විශ්ව විද්‍යාලයට ඇතුළුවන ගැරී ආනන්දසංගරී  එහි දී දේශපාලන විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිය ලබාගත්තේ ය. 2015 පැවැති ෆෙඩරල් මැතිවරණයෙන් ලිබරල් පක්ෂය නියෝජනය කරමින් චන්ද 29,913ක් ලබා පළමුවරට කැනේඩියානු පාර්ලිමේන්තුවට තේරීපත් වන ගැරී ආනන්දසංගරී, 2019 පැවති මැතිවරණයෙන් චන්ද 31, 360ක් ලබා දෙවන වරට ද, කැනේඩියානු පාර්ලිමේන්තුවට තේරීපත් වී ය. එවර ඔහු ලබාගත්  චන්ද ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස 62.2%කි.
ඔහු මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව ජයග්‍රහණය කරන්නේ ද, එරට අගමැති ජස්ටින් ටෲඩෝගේ ලිබරල් පක්ෂය නියෝජනය කරමිනි. මෙම නවතම ජයග්‍රහණය සම්බන්ධයෙන් ඔහු කියා සිටියේ, වත්මන් ප්‍රතිපත්ති මත ඉදිරියට යායුතු බවට තම ආසනයේ මෙන් ම, කැනඩාවේ සමස්ත ජනතාව, මැතිවරණ ප්‍රතිඵල මගින් පැහැදිලි ප්‍රකාශයක් සිදුකර ඇති බව ය.
කැනේඩියානු පාර්ලිමේන්තුවට තේරීපත් වූ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති අනෙක් දෙමළ කැනේඩියානු දේශපාලනඥයා වන්නේ ලෝගන් කනපති මන්ත්‍රීවරයා ය.  ප්‍රචණ්ඩ සිවිල් යුද සමයේ  ශ්‍රී ලංකාවේ හැදුණු  වැඩුණු  ඔහු, යාපනය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන අවදියේ  ක්‍රියාකාරී ශිෂ්‍ය නායකයෙක් ලෙස කටයුතු කළේ ය. සුළුතර දමිළ ප්‍රජාවට එරෙහි රජයේ හිංසනය විවේචනය කරමින් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සහ ඔවුන්ට එරෙහිව සිදු කෙරෙන බොහෝ සාහසිකකම් වෙනුවෙන් එහි දී ඔහු ප්‍රබල හඬක් නැගී ය.
ඔහුගේ එම ප්‍රබල හඬ සහ  ක්‍රියාකාරී බව නිසා ඉක්මනින් ම ඔහුත්,  ඔහුගේ පවුලේ අයත් අනතුරට පත් වූ අතර, 1983 කළුජූලියේ හිංසනයට බිය වූ ඔහු සරණාගතයෙකු ලෙස කැනඩාවට පලා ගියේ ය. මානව හිමිකම් හා සමානාත්මතාව කෙරෙහි දැඩි ඇල්මක් දක්වන කැනඩාවේ දී ද, ඔහුගේ එම  ක්‍රියාකාරීත්වය අඛණ්ඩව පැවති අතර,  දේශපාලනයට පිවිස හඬක් නැති අය වෙනුවෙන් හඬක් නගන ලෙස පවසමින් බොහෝදෙනා ඔහු උනන්දු කළෝ ය..
ඒ අනුව,  2006  වසරේ පැවැති මාක්හැම් මහ නගර සභා මැතිවරණයට ඉදිරිපත් වන ඔහු පළමුවරට  මාක්හැම් නගර සභා මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වී ය. අනතුරුව, 2010 දී දෙවන වරටත්, 2014 දී තෙවන වරටත් මාක්හැම් නගර සභා මන්ත්‍රීවරයකු ලෙස තේරීපත් වන ඔහු,  2018 පැවැති කැනේඩියානු මහ මැතිවරණයේ දී ඔන්ටාරියෝ ප්‍රගතිශීලී කොන්සර්වේටිව් පක්ෂය නියෝජනය කරමින් චන්ද 18,943ක් ලබා ව්‍යවස්ථාදායක සභාවට තේරීපත් වී ය.  ඒ, සියයට 50 කටත් වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමිනි.
වසර දොළහක කාලයක්  මාර්කම් නගර සභාවේ  උපදේශකයෙකු වශයෙන් ද කටයුතු කළ ඔහු, වැඩිහිටියන්, තරුණයන් සහ පවුල් ඒකක සඳහා යහපත් සමාජ ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමට කටයුතු කළේ ය.  2009 සහ 2011 කාලය තුළ මාර්කම් නගරසභාව වෙත අඩු ම දේපල බද්ද හඳුන්වා දීමේ  යෝජකයා ද ඔහු ය. මේ වනවිටත් ඔහු මාර්කම්-තෝර්න්හිල් හි ජනතාව වෙනුවෙන් කැපවීමෙන් සේවය කරමින් සිටින අතර,  කොවිඩ්-19 වසංගතය අතරතුර, ඔහු විවිධ අවශ්‍යතා ඇති නිවැසියන් සඳහා ආරක්ෂිත ඇඳුම් කට්ටල සහ වෙනත් ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ නිරත වී සිටී.
කැනේඩියානු පාර්ලිමේන්තුවට තේරීපත් මෙම මන්ත්‍රීවරුන් සියලුදෙනා ම කැනේඩියානු දෙමළ ප්‍රජාව සහ දෙමළ කැනේඩියානුවන් නියෝජනය කරන අතර, ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මෙන් ම,  ශ්‍රී ලාංකික දෙමළ ප්‍රජාවගේ මානව හිමිකම් වෙනුවෙන් ද පෙනී සිටිති. එහෙත්, වසර ගණාවකට පෙර යුදගැටුම් පැවැති සමයේ කැනඩාවේ රැකවරණ පතා ශ්‍රී ලංකාව හැරගිය ඔවුහු, යුදගැටුම් පැවැති සමයේ සහ ඉන්පසුව මෙරට දෙමළ ප්‍රජාව මුහුණදුන් සහ මුහුණදෙමින් සිටින අත්දැකීම් පිළිබඳව හරියාකාරව නොදනිති.
යුද්ධය නිසා දෙපාර්ශ්වයේ ම වටිනා ජීවිත රැසක් රටට අහිමි වුව ද, අවසන් යුද සමයේ කොටි සංවිධානය මිනිස් පලිහක් කරගෙන සිටි දහස් ගණනක් අහිංසක දෙමළ ජනතාවගේ ජීවිත බේරාගැනීමට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා කටයුතු කළ බවත් ඔවුහු නොදනිති. ඉන්පසුව ගෙවීගිය වසර දහතුනක කාලය තුළ උතුරේත්, දකුණේත් වෙසෙන සිංහල, දෙමළ ජනතාව කිසිදු විරසකයක් නොමැතිව සහජීවනයෙන් වාසය කරන බව පවා ඔවුහු නොදනිති.
යුද සමයේ අත්අඩංගුවට පත් යුද සිරකරුවන්ගෙන් බොහෝදෙනෙකු පුනරුත්ථාපනය කිරීමෙන් පසු වැඩදායී පුද්ගලයන් ලෙස සමාජයට නිදහස් කර ඇති බව පවා ඔවුහු නොදනිති. නොඑසේනම්, ඒ සියල්ල හොඳින් ම දැන කැනඩා රජයෙන් ලැබෙන සියලු පහසුකම් වෙනුවෙන් ඒ කිසිවක් නොදන්නවා සේ සිටිනවා වියයුතු ය. එය ඔවුන් තම දෙමළ ප්‍රජාවටත්, ශ්‍රී ලංකාවටත් කරනු ලබන බලවත් හානියකි. ඔවුන්ගේ එම අදූරදර්ශී ක්‍රියාකාරකම් හේතුවෙන් සිංහල දෙමළ දෙපිරිස අතර වර්තමානයේ පවත්නා සංහිඳියාවට බරපතළ තර්ජනයක් වනු ඇත.
එහෙයින්, එම දෙමළ නියෝජිතයන්ගේ යුතුකම හා වගකීමවන්නේ යුද සමයේ සිදුවූ අමිහිරි අත්දැකීම් අමතක කර සිංහල ප්‍රජාව වෙත සිය මිත්‍රත්වයේ දෑත දිගු කිරීම ය. ඔවුනට එය, කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකීය සිංහල ප්‍රජාව හා සුහදව කටයුතු කිරීමෙන් ම ආරම්භ කළ හැකි ය. එවිට එම මිත්‍රත්වය හා සුහදතාව මෙරට සිංහල දෙමළ ප්‍රජාව අතර ද ස්ථිරසාර ලෙස පැතිර යනු ඇත.
ඒ සඳහා යහපත් ප්‍රවේශයක් මේ වනවිට විවෘත වී තිබේ. ඒ, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතමින් ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදුකළ ප්‍රගතිශීලී ප්‍රකාශයත් සමඟ ය. එම ප්‍රකාශය මගින් දෙමළ ජනතාව මුහුණදෙන ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කරමින් ඔහු තැබූ ඉදිරි පියවර ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගැනීම  කැනේඩියානු  පාර්ලිමේන්තුවේ දෙමළ නියෝජිතයන්ගේ මෙන් ම, ලොව පුරා වෙසෙන දෙමළ ඩයස්පෝරාවේ ද යුතුකමකි, වගකීමකි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments