පසුගිය මස 20 වැනිදා කඩා වැටුණු මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පිහිටි පස් මහල් ගොඩනැගිල්ලේ සුන්බුන් ඉවත් කිරීම ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මගින් ඊයේ (20 වැනිදා) ආරම්භ කළේය.
මෙම පස් මහල් නිවස කඩා වැටීම හේතුවෙන් සිඟිත්තියක ඇතුළු තිදෙනකු මරණයට පත්වූ අතර ඒ සම්බන්ධයෙන් මේ දක්වාම පරීක්ෂණ සිදුවෙමින් පවතී.
සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මහනුවර මහ නගර සභාව හා ගොඩනැගිලි පර්‌යේෂණ ආයතනයේද අධීක්ෂණය මත මහනුවර මූලස්ථාන පොලිසියේ ආරක්ෂාව සහිතව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මගින් සිදුකරයි. මේ සඳහා රුපියල් ලක්ෂ 28ක මුදල් ප්‍රතිපාදන ආපදාකළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය මගින් ලබාදී තිබේ.
මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවිර කියා සිටියේ මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතුවල ප්‍රමිතිය පිළිබඳව මේ වන විටද පරීක්ෂණ කටයුතු සිදුවන බැවින් හා ඊට යොදා ඇති අමුද්‍රව්‍ය සම්බන්ධයෙන් සාම්පල ලබා ගැනීමේ අවශ්‍යතාවය මත ක්‍රමානුකූලව එම සුන්බුන් ඉවත් කරන බවත් ඒ සඳහා සති දෙකක පමණ කාලයක් ගත විය හැකි බවත්ය.
කඩා වැටීමට ලක්වූ නිවසේ හිමිකරුවන්ගෙන් මේ සඳහා වැයවෙන මුදල ඉදිරි කාලයේදී ලබා ගැනීමට අදාළ පියවර ගෙන ඇති බවද හෙතෙම පැවසීය.
ගොඩනැගිලි සුන්බුන් ඉවත් කිරීමේ අවස්ථාව නිරීක්ෂණය කිරීම සඳහා ගොඩනැගිල්ලේ හිමිකරු අනුර ලෙව්කේගේ ඥාතීහුද එක්ව සිටියහ.