22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeක්‍රීඩා පුවත්සුපිරි තරු රැසක්එල්.පී.එල්.තරගාවලියට

සුපිරි තරු රැසක්එල්.පී.එල්.තරගාවලියට

ලබන නොවැම්බර් මස 21 වැනිදා සිට පැවත්වීමට නියමිත ‘ලංකන් ප්‍රිමියර් ලීග්’ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් තෝරා ගැනීමේදී ක්‍රිස් ගේල්, ඇන්ඩෘ රසල්, ෆෆ් ඩුප්ලෙසිස්, ඩේවිඩ් මිලර් ඇතුළු ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ කැපී පෙනෙන විදෙස් ක්‍රීඩකයින් තෝරා ගැනීමට කණ්ඩායම් හිමිකරුවන් පියවරගෙන තිබුණි.

අදාළ ක්‍රීඩකයින් තෝරා ගැනීම පෙරේදා (19 වැනිදා) ප.ව. 4.00ට ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සිදු කෙරිණි. කණ්ඩායම් පහකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන තරගාවලියේ සෑම කණ්ඩායමකම නායකයින් ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නම්කොට තිබේ.

ඒ අනුව කලම්බු කිංග්ස් නායකයා වශයෙන් ඇන්ජලෝ මැතිව්ස්, කැන්ඩි ටස්කර්ස් නායකයා වශයෙන් කුසල් පෙරේරා, දඹුල්ල හෝක්ස් නායකයා වශයෙන් දසුන් ශානක, ගෝල් ග්ලැඩියේටර්ස් නායකයා වශයෙන් ලසිත් මාලිංග සහ ජැෆ්නා ස්ටැලියන්ස් නායකයා වශයෙන් තිසර පෙරේරා පත්කොට ඇත.

ජැෆ්නා ස්ටැලියන් පිලේ පුහුණුකරු හැරුණු විට සෙසු කණ්ඩායම්හි පුහුණුකරුවන් කවුරුන්ද යන වග සංවිධායකයින් විසින් මේ වන විට ප්‍රසිද්ධියට පත්කොට තිබේ. අදාළ ප්‍රධාන පුහුණුකරුවන් අතර ශ්‍රී ලංකාවේ එකම නියෝජනය වන හෂාන් තිලකරත්න කැන්ඩි ටස්කර්ස් පිල වෙනුවෙන් සිය සේවය ලබාදෙනු ඇත. කෙසේ නමුත් ජැෆ්නා ස්ටැලියන් පිලේ ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් තිලිණ කන්ඩම්බිව පත් කිරීමේ අවස්ථාවක් පවතින බැව් වාර්තා වේ.

1996 ලෝක කුසලානය දිනා ගැනීමේදී ශ්‍රී ලංකා පිලේ පුහුණුකරුවා වූ ඩේව් වට්මෝර් ඇන්ජලෝ මැතිව්ස්ගේ කලම්බු කිංග්ස්හි පුහුණුකරු වගකීම දරයි. පාකිස්තාන ජාතිකයෙකු හිමිකාරිත්වය දරන ගෝල් ග්ලැඩියේටර්ස්හි පුහුණුකාර ධුරය පාකිස්තානයේම මොයින් ඛාන්ට හිමිව තිබේ. එම කණ්ඩායම සඳහා කොලින් ඉන්ග්‍රම් හැරුණු විට සෙසු විදෙස් ක්‍රීඩකයින් පාකිස්තාන නියෝජනයන් වීම විශේෂත්වයක් විය.

දඹුල්ල හෝක්ස් පිලේ පුහුණුකරු වශයෙන් ජෝන් ලුවිස් කටයුතු කරනු ලබන අතර ඔහු විසින්ම සිය කණ්ඩායම් තේරීම සිදු කිරීම කැපී පෙනෙන කාරණයක් විය.

ඒ ඒ කණ්ඩායම් සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ ප්‍රධාන අවස්ථාව පෙරේදා (19 වැනිදා) පැවති නමුත්, ලබන නොවැම්බර් 01 වැනිදාට පෙර තවත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු තෝරා ගැනීමේ අවස්ථාව අදාළ කණ්ඩායම් වෙත ලබා දී තිබේ. එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් 16 දෙනා බැගින් ඇතුළත් අතර ඒ ඒ කණ්ඩායමට අතිරේක ක්‍රීඩකයින් සිව්දෙනා බැගින් එක් කර ගැනීමටද අවස්ථාව හිමි විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments