යාපනය, නයිනතිව් දූපතේ පිහිටි ඓතිහාසික නාගදීප පුරාණ රජ මහා විහාරයේ වාර්ෂික කඨින පුණ්‍ය උත්සවය සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න (22) සහභාගි විය.
මෙම 21 සහ 22 වන දිනට යෙදී තිබුණු මෙම කඨින පුණ්‍ය උත්සවය නාගදීප පුරාණ රජමහා විහාරාධිපති උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමිගේ අනුශාසනා පරිදි නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස් මත උතුරු නාවික විධානය විසින් සංවිධානය කරන ලදී.
ඒ අනුව, මෙම කඨින පුණ්‍ය උත්සවයට සමගාමීව බෝධි පුජා පිංකමක් සහ සර්වරාත්‍රික පිරිත් සජ්ජායනාවක් 2021 ඔක්තෝබර් මස 21 වන දින පවත්වන ලදී. 2021 ඔක‍්තෝබර් මස 22 වන දින නාගදීප නාවික අනුඛණ්ඩයේ සිට විචිත්‍රවත් පෙරහැරක් මඟින් කඨින චිවරය නාගදීප රජමහ විහාරස්ථානය වෙත වැඩම කරවීමෙන් අනතුරුව ගරුතර මහා සංඝරත්නය 25 ක් නමක් විෂයෙහි දහවල් දානය සහ පිරිකර පූජා කිරීම නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එදින නයිනතිව් දූපත් වාසීන් වෙනුවෙන් දිවා ආහාරය පිරිනැමීමට ද නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
තවද, නාගදීප විහාර පරිශ්‍රයේ පොත්ගුල් විහාරයෙහි නාවික හමුදා ශිල්පීය දායකත්වයෙන් නිර්මාණය කරන ලද අභිනව පිරිනිවන් මංචකය සැදැහැවත් බැතිමතුන්ගේ වන්දනාමාන කටයුතු සඳහා සසුනට පුජා කිරීම නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් 2021 ඔක්තෝබර් මස 22 වන දින සිදු කෙරුණු අතර, නාගදීප විහාරස්ථානයට අනුබද්ධිත බුද්ධ වලව්ව විහාර පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකිරිමට යෝජිත නව විශ්‍රාම ශාලාව සඳහා මුල්ගල තැබීම ද නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සංවිධානය කෙරුණු මෙම කඨිණ පුන්‍ය උත්සව අවස්ථාව සඳහා හිටපු ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ හිටපු නාවික හමුදාධිපති වරයෙකු වන අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, උතුරු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු සමන් පෙරේරා ඇතුළු උතුරු නාවික විධානයේ නාවික පුද්ගලයන් සහ බැතිමතුන් සීමිත පිරිසක් සහභාගි වී සිටියහ