21.5 C
Sri Lanka
Thursday, May 8, 2025
Homeදේශීය පුවත්කුරුණෑගල බස් නැවතුම්පොළෙහි ජනතාවට රැඳී සිටීමට වෙන්කර ඇති පෙදෙසෙහි ජනතාව අපහසුතාවට පත්වන...

කුරුණෑගල බස් නැවතුම්පොළෙහි ජනතාවට රැඳී සිටීමට වෙන්කර ඇති පෙදෙසෙහි ජනතාව අපහසුතාවට පත්වන ආකාරයෙන් කඩ කාමර තිස් එකක් සාදා ඇති බව කෝපා කමිටුවේ දී අනාවරණය වෙයි.

කුරුණෑගල බස් නැවතුම්පොළෙහි මගී ජනතාවට පහසුවෙන් රැඳී සිටීමට වෙන්කර ඇති හිස් පෙදෙසෙහි කඩ කාමර 31 ක් පෞද්ගලික වියදමින් ඉදි කර ගැනීමට පුද්ගලයින් 31 දෙනෙකුට අවසර ලබාදී ඇති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දී අනාවරණය විය.

මෙම අනාවරණය සිදු වූයේ රාජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ගරු රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (10) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය. රාජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපතිත්වය දරන්නේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා ය.

මෙම ඉදිකිරීම් ආර්ථික උත්පාදන මාර්ගයක් ලෙස මහ නගර සභාව අර්ථ දක්වා තිබුණද මෙමගින් ජනතාවගේ පොදු යහපතට බාධා සිදුවන බව මෙහිදී අනාවරණය විය. එසේම බස්නැවතුම්පොළ සඳහා සකස් කර තිබූ මූලික සැලැස්මෙන් බැහැරව මෙම ඉදිකිරීම් සිදු කොට ඇති බව සහ නිවැරදි ක්‍රමවේදයකින් තොරව මෙම කඩ කාමර 31 පුද්ගලයින් 31 දෙනෙකුට ලබාදී ඇති බව ද මෙහිදී හෙළිවිය.

එසේම කුරුණෑගල මධ්‍යම වෙළඳපොළ ඉදිකිරීම සඳහා මහනගර සභාවේ ඉංජිනේරු ඇස්තමේන්තුවේ  ඇස්ථමේන්තුව ඉක්මවා 41% ක් එනම් රුපියල් 281,934,447ක මුදලක් ඉදිරිපත් කළ ලංසුකරුට කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. විශේෂයෙන් මෙම කරුණ සාකච්ඡා කරන විට අනාවරණය වූයේ පළමුව සකස්කළ ඉන්ජිනේරු ඇස්තමේන්තුව නිවැරදිව සකස් වී නොමැති බවයි. එහිදී ගොඩනැගිල්ලට අවශ්‍ය සියලු අවශ්‍යතා පිළිබඳව සැලකිලිමත්වී නොමැති බව මෙහිදී තහවුරු විය. ඒ අනුව මහ නගර සභාව සත් භාවයෙන් සිදුකරන ලද මෙම කාර්යය ඉන්ජිනේරු දෙපාර්තමේන්තුව විසින් නිවැරදි ඇස්තමේන්තුවක් සකස් නොකිරීම මත මෙසේ දෝෂ දර්ශනයට හසු වී ඇති බව සාකච්ඡා විය. එබැවින් මේ සම්බන්ධයෙන් ඇස්තමේන්තුව සකස් කළ ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කරන ලෙස කෝපා කමිටුව විසින් නිර්දේශ කරන ලදි.

එසේම ඉලුප්පුගෙදර මාර්ගය කොන්ක්‍රීට් කිරීම සම්බන්ධයෙන් ඇස්තමේන්තු දෙකක් සකස් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට භාජනය විය. 

මීට අමතරව ව්‍යාජ ආයතනයකින් පොලිසැක් මළු මිලදී ගැනීම පිළිබඳවද කෝපා කමිටුවේ අවධානය යොමු විය. තවද මධ්‍යම වෙළඳපොළේ අදියර 1 හා 2 යටතේ ඉදි කරමින් පවතින කඩ කාමර 123ක් හා මාලිගාපිටිය කඩකාමර 12ක් දීර්ඝකාලීන බදු ක්‍රමය යටතේ නිවැරදි ක්‍රමවේදයකින් තොරව ලබාදීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට භාජනය විය. ඒ අනුව සභාව තීරණය කළ ඇස්තමේන්තුවකට විනිවිදභාවයෙන් තොරව පළමු ගැණුම්කරු වෙත කඩකාමර බදු දීමට කටයුතු කර ඇති බව මෙහිදී අනාවරණය විය.කෙසේ වෙතත් මේ පිළිබඳ කුරුණෑගල මහනගර සභාවේ නගරාධිපති පවසන්නේ ඔවුන් අදාල පනත් විධි විධානවලට අනුව කටයුතු කර  ඇති බවයි.

මෙම කාරක සභාව සඳහා ගරු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ෂෙහාන් සේමසිංහ සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක් අබේසිංහ, ගුණපාල රත්නසේකර, කාදර් මස්තාන්, වීරසුමන වීරසිංහ, වෛද්‍ය උපුල් ගලප්පත්ති යන මහත්වරු සහභාගි වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments